ආණ්ඩු පෙරළීමේ පම්පෝරිය
යහපාලන ආණ්ඩුව පෙරළා බලය ඩැහැ ගැනීමට මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය දරන උත්සාහය අවසාන වන පාටක් දැකිය නොහැක. ආණ්ඩුව පෙරළීමේ අරගලයට මේ වනවිට යහපාලන ආණ්ඩුවෙන් කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනකුද එක් වී ඇත. යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගැනීමේ සටන ඒකාබද්ධ විපක්ෂය පටන් ගත්තේ අද ඊයේ නොවේ. එම සටන ඔවුන් පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව පිහිටවූ දිනයේ සිටය. මේ වනවිට එම සටනට අඩුම වශයෙන් අවුරුදු තුනකට ටිකක් වැඩි කාලයක් ඉක්මවී ඇත. ආරම්භක අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්ෂය පාරම්බෑවේ එක් පසොළොස්වක පොහොයක් ගත වීමට ප්‍රථමයෙන් යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගන්නා බවය.
ආණ්ඩුවක් පෙරළා බලය අල්ලා ගැනීම එතරම් සිල්ලර කාර්යයක් සහ එතරම් කෙටිකාලයක් තුළ දී කළ නොහැකි දෙයක් බව තේරුම් ගිය නිසාදෝ පසුව ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව පෙරළීමේ කාල පරිමාණය වෙසක් පෝය දිනවලට වෙනස් කරන අතර ඒ අනුව ඔවුන් පාරම්බෑවේ මී ළඟට එළඹෙන වෙසක් පෝය දිනට පෙර යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගන්නා බවය. වෙසක් පොහොය දිනට ආණ්ඩු පෙරළීමේ පාරම්බෑම ප්‍රකාශයට පත්කොට මේ වනවිට වෙසක් පොහොයවල් තුනක් ඉක්මවී ඇත. නමුත් පෙරලා දැමූ ආණ්ඩුවක් නැත.
අද වනවිට වෙසක් පෝය කතාවද ඒකාබද්ධ විපක්ෂය අත්හැර දමා ඇත. ආණ්ඩුව පෙරලීමේ අරගලය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යකරුවකු ගිය සතියේ ප්‍රශ්න කළවිට ඔහු කියා සිටියේ මීළඟට ඉඩ ලැබෙන ප්‍රථම අවස්ථාවේ දී යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගැනීමට තමන් ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවය.
ආණ්ඩුව පෙරළීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන මීළඟට එළඹෙන ප්‍රථම අවස්ථාව බෙහෙවින්ම පටලැවිලි සහගත මෙන්ම අර්බුදකාරී අදහසක් වේ. හේතුව එයට නිශ්චිත කාල වකවානුවක් දැක්වීමට නොහැකි වීමය. මෙයින් පෙනී යන්නේ ඒකාබද්ධ විපක්ෂය අතෝරක් නැතිව ප්‍රකාශ කරන යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමේ අදහස හුදු පාරම්බෑමකට පමණක් සීමා වූ කිසිම දිනක යථාර්තීකරණය කරගත නොහැකි හුදු මනෝමූලික අදහසක් පමණක් වන බවය.
මෙයින් කරුණු දෙකක් පැහැදිලි වේ. එකක් වන්නේ යහපාලන ආණ්ඩුව මේ වනවිට මියැදීමට ආසන්න පිළිකා රෝගියකුගේ තත්ත්වයට පත්ව තිබුණ ද 2020 වර්ෂය වනතෙක් මිය නොයන බවය. දෙවන කරුණ වන්නේ යහපාලන ආණ්ඩුව මෙවැනි තත්ත්වයකට පත්ව තිබුණ ද එම ආණ්ඩුව මියැදීමට ප්‍රථමයෙන් එය පෙරළා දමා ඒකාබද්ධ විපක්ෂයට බලය අල්ලා ගෙන තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට කුමන හෝ ආකාර හැකියාවක් නොමැති බවය.
යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගැනීමේ ඒකාබද්ධ විපක්ෂයේ ප්රයත්නය අසාර්ථක වූයේ ඇයි ද යන ප්රශ්නය මෙහි දී මතු වේ. මේ කෙරෙහි බලපා තිබෙන ප්‍රධානම හේතු සාධකය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගොඩනඟා තිබෙන ආණ්ඩුවේ ස්වභාවය සහ එය පෙරලා දැමීම සඳහා අනුගමනය කළයුතු දේශපාලන උපක්‍රම මොනවාද යන්න ගැන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයින්ට නිසි අවබෝධයක් නොමැති වීමය.
ආණ්ඩුවක් පෙරළා දැමීම යනුවෙන් අදහස් කරන්නේ ආණ්ඩුවේ නියමිත නිල කාලය අවසාන වීමට ප්‍රථමයෙන් විධායක බලතල ක්‍රියාවට නංවන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම තනතුරුවලින් පන්නා හරිමින් විධායක බලය අල්ලා ගැනීමය. කැබිනට් ආණ්ඩුක්රමයක විධායකය ලෙස සලකන්නේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයයි. ජනාධිපති ආණ්ඩු ක්රමයක නම් ජනාධිපතිවරයාය. මිශ්‍ර විධායකයක් හෙවත් අර්ධ ජනාධිපති ආණ්ඩු ක්රමයක නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයයි. මේ අනුව ආණ්ඩුවේ ස්වභාවය අනුව පෙරළා දැමිය යුතු විධායකයේ ස්වභාවයද වෙනස් වන අතර ඒ සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ද වෙනස් වේ.
නියමිත නිල කාලයට පෙර විධායකය බලයෙන් පන්නා හැරීම සඳහා කැබිනට් ආණ්ඩුක්‍රමයක් තුළ පවතින ව්‍යවස්ථානුකූල උපාය මාර්ගය වන්නේ ව්‍යවස්ථාදායකය තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමය. මෙහි දී ව්‍යවස්ථාදායකය යන්නෙන් අදහස් කරන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම සඳහා අවශ්‍ය වන්නේ සරල බහුතර අනුමැතියක් පමණි. එනම් යෝජනාව සම්මත කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ දී සභාගර්භය තුළ සිටි මන්ත්‍රීවරුන්ගෙන් අර්ධයකට එකක් වැඩි සංඛ්‍යාවක් පමණි.
නමුත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ පමණින්ම එම යෝජනාව ගෙන ඒමට මුල් වූ විපක්ෂයට ආණ්ඩු බලය හිමිවේ යැයි ස්ථිරවම ප්‍රකාශ කළ නොහැක. හේතුව විපක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට ආරධනා කිරීමට හෝ එසේ නොකොට ව්‍යවස්ථාදායකය විසුරුවා හැර නව මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා ක්‍රියා කිරීමට හෝ කැබිනට් ආණ්ඩුක්‍රමයක් තුළ නාමික විධායකයට බලය තිබීමය. පවතින ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ විට මෙම විකල්ප දෙකෙන් ඕනෑම එකක් අනුගමනය කිරීමට කැබිනට් ආණ්ඩුක්‍රමයක් තුළ නාමික විධායකයට බලය තිබේ.
ජනාධිපති ආණ්ඩුක්රමයක නියමිත නිල කාලය අවසාන වීමට පෙර ආණ්ඩුව පෙරළා දැමීම යන්නෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමය. මේ සඳහා භාවිත කරන ක්‍රමය වන්නේ දෝෂාභියෝගයක් ව්‍යවස්ථාදායකය තුළ සම්මත කිරීමය. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි සම්භාව්‍ය නිදසුන වන්නේ ඇමරිකානු ආණ්ඩුක්රමය තුළ ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා භාවිතයට ගැනෙන ව්‍යවස්ථානුකූල ක්රියාදාමයයි. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන වැරදි එකක් හෝ කිහිපයකට ජනාධිපතිවරයා වරදකරුවන බව විශ්වාස කරන්නේ නම් දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි අතර එය ආරම්භ කළ යුත්තේ කොංග්‍රසයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසිනි. දෝෂාභියෝගය විනිශ්චය කළ යුත්තේ කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩලය විසිනි.
එහි දී අදාළ චෝදනාවලට ජනාධිපතිවරයා වරදකරුවකු වුවහොත් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළයුතු අතර එම යෝජනාව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ මුලූ මන්ත්‍රී සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව) 2/3 ක බහුතර ඡන්දයෙන් සම්මත වුවහොත් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් විය යුතු වේ. නමුත් මෙහෙ දී දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ එසේ ජනාධිපති තනතුර හිස්වුවහොත් ඊළඟට ජනාධිපතිවරයා වන්නේ ඒ වනවිට උප ජනාධිපති ධුරය දරන පුද්ගලයා මිස දෝෂාභියෝගය ගෙන ඒමට මුල් වූ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායමේ නායකයා නොවීමය.
මෙයින් පෙනී යන්නේ ආණ්ඩුවක් පෙරළා දැමීම යනුවෙන් අදහස් කරන්නේ විධායකය සහ විධායකය අයත් වන දේශපාලන පක්ෂය බලයෙන් පන්නා හැරීම නම් එවැනි දෙයක් ජනාධිපති ආණ්ඩුක්රමය තුළ විධායකය තනතුරෙන් ඉවත් කිරීම මගින් සිදු නොවන බවය. ඇමරිකානු ආණ්ඩුක්රමය තුළ දෝෂාභියෝගයක් යනු පුද්ගලයකු තනතුරෙන් ඉවත් කිරීමට එහා ගිය දෙයක් නොවන අතර එය කිසිසේත්ම ආණ්ඩු වෙනස් වීමකට බලපාන දෙයක් නොවේ.
මීළඟට සලකා බැලිය යුත්තේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක හෙවත් මිශ්‍ර විධායක ආණ්ඩුක්රමයක විධායකය නියමිත නිල කාලය ඉක්මවීමට ප්‍රථමයෙන් ධුරයෙන් ඉවත් කරන ආකාරය පිළිබඳවය. අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක විධායකය සමන්විත වන්නේ කොටස් දෙකකින්ය.
එනම් ජනාධිපතිවරයා සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයයි. මේ අනුව අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක ආණ්ඩුව ලෙස සළකන්නේ මෙම කොටස් දෙකේම සමස්ත එකතුවයි. මේ අනුව අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක ආණ්ඩුව පෙරළීම යනුවෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම බලයෙන් ඉවත් කිරීමය. නමුත් මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. හේතුව විධායකය සමන්විත වන එම කොටස් දෙක තනතුරුවලට තෝරාපත් කිරීමට සහ තනතුරුවලින් ඉවත් කිරීමට භාවිතයට ගැනෙන ව්‍යවස්ථානුකූල විධිවිධාන එකිනෙකින් වෙනස් වීමය.
මේ අනුව අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක ජනාධිපතිවරයා තෝරා පත් කරන්නේ මුළු රටේම ඡන්දදායකයින් සහභාගී වන ජනාධිපතිවරණයකින්ය. නිල කාලයට ප්‍රථමයෙන් තනතුරෙන් ඉවත් කළ හැක්කේ ව්‍යවස්ථාදායකය තුළ සම්මත කරන දෝෂාභියෝගයක් මගිනි. විධායකයේ දෙවන කොටස වන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කරන්නේ මහා මැතිවරණයකින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයේ සමාජිකයින් අතුරෙන්ය.
සාමාන්‍ය සම්ප්රදාය වන්නේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ නායකයා අගමැති තනතුරට පත්කිරීම සහ ඔහුගේ නිර්දේශ මත අනෙක් ඇමතිවරුන් පත්කිරීමය. අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක විධායකයේ මෙම කොටස බලයෙන් ඉවත් කිරීම සඳහා ඇති ව්‍යවස්ථානුකූල විධිවිධානය වන්නේ ව්‍යවස්ථාදායකය තුළ එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සරල බහුතර ඡන්දයෙන් විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමය. මෙයින් පෙනී යන්නේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක විධායකය බලයෙන් නෙරපීම හෙවත් ආණ්ඩු පෙරලීම කැබිනට් සහ ජනාධිපති ආණ්ඩුක්‍රම දෙක තුළ විධායකය ඉවත් කරනවාට වඩා බෙහෙවින්ම අපහසු සහ අමාරු කාර්යයක් වන බවය. හේතුව විධායකය ඉවත් කිරීම අවස්ථා දෙකක දී දෙවිදියකට කිරීමට සිදු වීමය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මෙරටට හඳුන්වා දුන්නේ මෙවැනි ආණ්ඩුක්රමයක්ය. එනම් අර්ධ ජනාධිපති ආණ්ඩුක්රමයක්ය. මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය දහසය දෙනාගේ කල්ලිය සමඟ එක්ව පෙරළා දැමීමට පොර කන්නේ එවැනි සංකීර්ණ සහ අමාරු විධායකයක්ය. ලංකාවේ පවතින ව්‍යවස්ථානුකූල විධිවිධාන අනුව ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණි.
එය වර්තමාන ලෝකයේ පවතින අමාරුම සහ අපහසුම දෝෂාභියෝගය වේ. හේතුව යෝජනාව ඉදිරිපත් කිරීම සහ අවසාන වශයෙන් සම්මත කිරීම යන ක්‍රියාදාමය හා සම්බන්ධව පාර්ලිමේන්තුවේ 2/3 බහුතර අනුමැතිය තුන්වරක් අවශ්‍ය වීම සහ ඒ අතරවාරයේ එක් අවස්ථාවක දී සුප්‍රීම් උසාවියද එයට සම්බන්ධ වීමය. අනෙක් අතට විධායකයේ දෙවන කොටස වන අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය තනතුරුවලින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ යුතු අතර ඒ සඳහා අඩුම වශයෙන් මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහාය අවශය වේ. පවතින දේශපාලන සංදර්භය තුළ මෙම කාර්යය මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට සහ 16 දෙනාගේ කල්ලියට කළහැකි දෙයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
මෙයින් පෙනී යන්නේ පවතින ආණ්ඩුවේ විධායකයේ ස්වභාවය හා එය බලයෙන් පන්නා හරින ආකාරය පිළිබඳ සැබෑ තත්ත්වය අවබෝධ කර නොගෙන මහින්ද රජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයත් දහසය දෙනාගේ කල්ලියත් අඳුරේ අතපත ගාමින් පම්පෝරි දේශපාලනයක නියැලී සිටින බවය. ඔවුන් පම්පෝරි ගසන ආණ්ඩු පෙරළීමේ උපක්‍රමයේ ප්‍රධානම අංගයක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වන මෙන් කරන බලපෑමය.
මෙය පිළිගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 23 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සිදු වන්නේ ආණ්ඩුව පෙරළී යාම නොව ජනාධිපති තනතුරට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පත් වී එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් බිහිවීමය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉවත් නොවී අනෙක් අය ඉවත් වුවහොත් සිදු වන්නේ අකමැත්තෙන් වුවද ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ඉතිරි කාලය ධුරයේ රැඳී සිටීමය. අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වූවද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තනතුරුවලින් ඉවත් කිරීමට අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාව සොයා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට ඇති හැකියාව අතිශයින්ම සීමිත වේ. මෙයින් පෙනී යන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සහ 16 දෙනාගේ කල්ලියේ ආණ්ඩු පෙරළීමේ උත්සාහය පම්පෝරි ගැසීමේ සීමාව ඉක්මවා නොයන බවය. නමුත් පාක්ෂිකයින් අඩපණවීම වළක්වා ගැනීමටත් ජනතාව නොමඟ යැවීමටත් එම පම්පෝරි ගැසීම ඒකාබද්ධ විපක්ෂයට ප්‍රයෝජනවත් වනු ඇත.

