පිදුරු ගහේ එල්ලීම – භාතිය බරුකන්ද

“දියේ ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා” වාගේ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. වෙසක් පෝයට පෙර ආණ්ඩුව පෙරළන බවට වහසි බස් දොඩමින් ක්‍රියාත්මක කළ පාගමන්, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සහ කොළඹ වැටලීම ආදි සියලු සැලසුම්වලින් දැඩි සේ අසාර්ථකත්වයට පත් වූ ඒකාබද්ධ කල්ලිය පසුගිය සති කිහිපය පුරාම එල්ලී සිටින්නේ “රුපියල අවප්‍රමාණය වීම” නම් පිදුරු ගහෙයි.

ගසාගෙන යන සැඩ පහරින් බේරීම සඳහා පිදුරු ගසක එල්ලී සිටියත් ඒකාබද්ධ කල්ලිය, විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති හේතු ගැන කරන විග්‍රහ නම් නිමක් නැහැ. තම දේශපාලන අවස්ථාවාදීත්වය සහ කුහකත්වය මනාව ප්‍රදර්ශනය කරමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදීත් තම දස අවුරුදු පාලනය ගැන පාරම්බාමින් ඉදිරිපත් කරන විග්‍රහ අතිශයින් සාවද්‍ය බව, ජනතාව නොමඟ යවන ඒවා බව රාජපක්ෂ යුගය ගැන දන්නා කියන ජනතාවට පැහැදිලි කරුණක්.

ඒත් මේ සාවද්‍ය හා පම්පෝරි කතා මගින් තව දුරටත් සාමාන්‍ය ජනතාව නොමඟ යැවීමට හැකි බව ඒකාබද්ධ කල්ලිය විශ්වාස කිරීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ එකම බොරුව සිය වරක් නොව දහස් වරක් වුවද අඛණ්ඩව, නිර්මාණශීලීව ප්‍රකාශ කිරීමට මේ කල්ලිය නොබියව සූදානම් නිසයි. බිල්ලන් මැවීමෙන් තොර පැවැත්මක් නැති බව දන්නා නිසයි.

කිඹුල් කඳුළු හෙළීම

රුපියල අවප්‍රමාණය වීම ගැන කරුණු පැහැදිලි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තම නොහැකියාව මනාව ප්‍රදර්ශනය කළ මහින්ද රාජපක්ෂ මහතා එමගින් සිදු වූ නින්දාව මකා ගැනීමට දෝ පසුගිය 25 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. “රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය” යන ශීර්ෂ පාඨය යටතේ නිකුත් කළ මේ මාධ්‍ය නිවේදනය මගින් රාජපක්ෂ මහතා රුපියල අවප්‍රමාණය වීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ දුර්වලතා නිසා නිර්මාණය වූ හුදකලා සිදුවීමක් බව හුවා දැක්වීමට දැඩි වෙහෙසක් ගෙන තිබුණා.

“යහපාලන ආණ්ඩුව බලයට පැමිණිදා සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවණතාවක් පැවතුණි. එය අද වන විට භයානක නායයෑමක් දක්වා වර්ධනය වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළයාම යැයි ආණ්ඩුවේ ප්‍රධානීහු කියති. මගේ ආණ්ඩු කාලය තුළ 2007-2008 වසරවලදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හේතු කොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් කඩා වැටුණි.

එදා ඇති වූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වග බලා ගැනීමට අපේ ආණ්ඩුව සමත් විය. 2007 – 2008 වසරවලදී මුළු ලෝකය පුරාම හමාගිය දරුණු ආර්ථික අර්බුදයක් තිබුණු බවක් වත් බොහෝ ශ්‍රී ලාංකිකයන් දැන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62ක් වූ අමෙරිකානු ඩොලරය 2009දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94ක අගයක පැවතියේය” මේ මහින්ද රාජපක්ෂ මහතා තම පාලන යුගයේ ප්‍රථම භාගයේදී පැවැති තත්ත්වය සමස්ත දශක පාලනය සමඟ තුලනය කිරීමට දක්වන උත්සාහයයි.

මහින්ද රාජපක්ෂ යුගයේ මේ තත්ත්වය ගැන කිසිවෙකුගේ තර්කයක් හෝ විවේචනයක් නැහැ. රට තීරණාත්මක යුද්ධයක නිරත වෙමින් සිටියදී ජනතාව අතරින් ද ආර්ථිකමය කාරණා ගැන මැසිවිලි ඉදිරිපත් වුණේ නැහැ. විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ද ආණ්ඩුවේ යුද ක්‍රියාවලියට පූර්ණ සහාය දුන්නා මිස ළඳරු රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ තදියමකින් පෙළුණේ නැහැ. ඒත් ජනතාව දැඩිව ප්‍රශ්න කළේ යුද ජයග්‍රහණයෙන් පසු උදා වූ රාජපක්ෂ යුගයයි. රට උකස් කරමින් ප්‍රදර්ශනකාමී සංවර්ධනය ආරම්භ කළ ඊනියා රාජපක්ෂ පාලනයයි. එම නිසා 2010න් පසු ආරම්භ වූ රාජපක්ෂ දෙවැනි ඉනිමට ඉහත සඳහන් කිසිදු තර්කයක් අදාළ නැහැ.

මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවැනි ඉනිම ආරම්භ වූ 2011 වර්ෂයේදී රුපියල් 110.57ක් වූ විනිමය අනුපාතය 2012දී රුපියල් 127.60ක් දක්වා එක්වරම රුපියල් 17කට ආසන්න අගයකින් අවප්‍රමාණය වුණා. මේ යුගයේ ලෝකයේ කිසිඳු ආකාරයක ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. එසේ නම් 2012 රුපියලේ සිදු වූ දැවැන්ත බිඳ වැටීම සම්පූර්ණයෙන් රාජපක්ෂ පාලනයේ ප්‍රතිඵලයක් බව අපට පැහැදිලියි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්තය වන ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමට හේතු වූ යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අහිමි කර ගැනීම වැනි ඍජු ආණ්ඩුවේ දුර්වලතා මගින් උද්ගත වූ මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා කළ දේ ගැන මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා හෙළි කළා.

ඒ ඩොලර් බිලියන 4.1ක සංචිත අමනෝඥ ලෙස මුදා හැරීම මගින් රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීමට පියවර ගැනීමයි. මෙවැනි තත්ත්වක් තුළ පවා මේ තත්ත්වය අඛණ්ඩව පැවති බව ද අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව 2008දී රුපියල් 108.33ක් වූ විනිමය අනුපාතය 2014 මහින්ද රාජපක්ෂ යුගය අවසානයේදී රුපියල් 130.56 දක්වා රුපියල් 22කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබෙනවා. 2015 ද සැලකිය හැකි වන්නේ රාජපක්ෂ පව් ගෙවූ වසරක් වශයෙන් හෙයින් ආසන්න වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි යුගය වශයෙන් සැලකෙන 2010-15 යුගයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 113.06 සිට 135.94 දක්වා අඛණ්ඩව අවප්‍රමාණය වීමකට ලක්ව තිබෙනවා. අද රුපියල අවප්‍රමාණය වීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනතාව හමුවේ සුදනන් වීමට කැසකවන රාජපක්ෂ – කබ්රාල් හවුල මේ අවප්‍රමාණය වීම් හා ඒ යට සැඟවුණ ආර්ථික අගතීන් ගැන ජනතාව හමුවේ කරුණු පැහැදිලි කළ යුතුයි.

කොළ කඩා පෑම

තම දශක පාලනය ආරම්භක තෙවසර තුළට ගොනු කිරීම මගින් සමස්ත චිත්‍රය පූර්ණ විකෘතියකට ලක් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරයක් අපට දැකිය හැකියි. මෙය හිතමතාම ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක් බව සඳහන් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන 2007-2008 යුගය ගැන තර්ක කිරීමක් අනවශ්‍ය වන්නේ රාජපක්ෂ පාලනය ආරම්භ වූ (2005) යුගයේ ලංකාව ණය කන්දක සිර කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පියවර නොගෙන තිබූ නිසා මිස රාජපක්ෂ මහතාගේ විශ්මකර්ම හැකියාවක් නිසා නොවෙයි. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර 2005 වර්ෂයේ වෙළෙඳ ශේෂය (අපනයන ආදායම් හා ආනයන විදයම් අතර වෙනස) රුපියල් මිලියන -207.503ක් වූ අතර මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භයත් සමඟ එම හිඟය වේගයෙන් ප්‍රසාරණය වූ ආකාරය අපට හඳුනාගත හැකියි.

ඒ අනුව 2006දී වෙළෙඳ ශේෂය රුපියල් මිලියන -296,687 දක්වා ද, 2007දී එය රුපියල් මිලියන -399,516 දක්වා ද, 2008දී රුපියල් මිලියන -561,622 දක්වා ද දැවැන්ත හිඟයක් (ඍණ ශේෂයක්) බවට පත් වූ ආකාරය අපට නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව බලයට ආරම්භක තෙවසර තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෙවුම් ශේෂ හිඟය රුපියල් මිලියන -207,503 සිට 561,622 දක්වා එනම් රුපියල් මිලියන -354,119කින්, එනම් සියයට 125ක ආසන්න අගයකින් ප්‍රසාරණය වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ අවසාන වර්ෂය වශයෙන් සැලකිය හැකි 2014දී ගෙවුම් ශේෂ හිඟය වාර්තා වන්නේ රුපියල් මිලියන -1,037,766ක් වශයෙනුයි. මහින්ද රාජපක්ෂ මහතා පාලනය භාර ගන්නා විට පැවති මිලියන – 207,503ක් වූ ගෙවුම් ශේෂ හිඟය දස වසරක ඇවෑමෙන් සියයට 500කට ආසන්න අගයකින් වර්ධනය වූ බවක් අපට මේ අනුව වටහා ගත හැකියි. අද වත්මන් ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුදය ගැන උපදෙස් දෙන්නේ මේ ආකාරයේ ආර්ථික කළමනාකරණයක් කළ මහින්ද රාජපක්ෂ මහතා විසින්ම වීම හාස්‍යයට කරුණක්.

පදනමක් නැති චෝදනා

රුපියල අවප්‍රමාණය වීම ගැන වත්මන් ආණ්ඩුවට චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තම පාලන යුගයේ පැවති නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීම වත්මන් ආර්ථික අර්බුදයට හේතුව බවයි. “ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අමෙරිකානු ව්‍යාපාරික ආයතනවලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිෂ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් අමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිෂ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලුනු, අර්තාපල්, පලතුරු, එළවළු, කුකුල් මස් හා ඇතැම් කාර්මික නිෂ්පාදන මේ රටේම නිපදවා ආනයනය අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආණ්ඩුවට ද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙළවරක් නැති නිදහස් ආනයනික ප්‍රතිපත්තියකි. ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීමේ කිසිදු උපාය මාර්ගයක් ඔවුන්ට නැත.

මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවට චෝදනා කරන්නේ ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීමේ කිසිදු උපාය මාර්ගයක් වත්මන් ආණ්ඩුවට නැති බවයි. එහෙත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා හිතමතාම වත්මන් ආණ්ඩුව විසින් ආනයනය අඩු කොට අපනයනය වර්ධනය කිරීම සඳහා ගන්නා සුවිශේෂ ක්‍රියාමාර්ග ජනතාවගෙන් වසං කිරීමට වංක උත්සාහයක නිරත වන ආකාරයක් අපට දැකිය හැකියි. “විෂන් 2025” තුළ ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු වී තිබෙන්නේ අපනයන සංවර්ධනය කෙරෙහිය.

“අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නෙමු. මිලියන 20ක් පමණ වන පාරිභෝගිකයන්ගෙන් සමන්විත දේශීය වෙළෙඳපොළක් ශ්‍රී ලංකාව සතු වන අතර, තිරසාර, ඉහළ සහ දිගු කාලීන වර්ධනයක් සඳහා විදේශීය අංශයේ ඉල්ලුම මත රඳා පැවතීමට සිදුවන බව මූලික යථාර්ථයක් ලෙස අපි හඳුනා ගෙන ඇත්තෙමු. ගෝලීය නිෂ්පාදන ජාලය තුළ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා සුරක්ෂිත කිරීම උදෙසා අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට උපාය මාර්ගිකව පත් කරන්නෙමු. මේ පුළුල් දැක්මක් සහිත ප්‍රවේශය දේශීය ආර්ථිකයේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ලබන අතර සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබසෙත සලසනු ඇත” (විෂන් 2025, පිටුව 11)

2025 දැක්ම අනුව යමින් ක්‍රියාත්මක “ව්‍යවසාය ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මගින් ද අපනයන සංවර්ධනය වේගවත් කිරීම සඳහා ප්‍රබල උත්තේජනයක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අපනයන සංවර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගිය තෙවසර අනුගමනය කළ ප්‍රශස්ත පියවරවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඉතිහාසය ඉහළම අපනයන ආදායම ලෙස අපනයන ආදායම ඩොලර් බිලියන 11.3ක් දක්වා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව (2014දී 1,453,176ක්) අපනයන ආදායම 2016 දී රුපියල් මිලියන 1,536,167 දක්වාත් 2017දී රුපියල් මිලියන 1,732,440 දක්වා වර්ධනය වී තිබෙනවා. වත්මන් ආණ්ඩුවට අපනයන සංවර්ධනය පිළිබඳ දැක්මක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා නඟන චෝදනාවට පදනමක් නැති බවත් එය ජනතාව නොමඟ යැවීමේ ප්‍රයත්නයක් බවත් මේ අනුව අපට පැහැදිලි වෙනවා.

ආණ්ඩුව ආනයන අධෛර්මයත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පියවර ගෙන නැති බවට මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාව ද පදනම් විරහිත එකක් බවයි පෙනී යන්නේ. මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන සියලුම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ (අපි වවලයි අපි කන්නේ වැනි) දේශීය නිෂ්පාදනය හැකිතාක් පුළුල් කරමින් ආනයන පාලනය කිරීම වෙනුවෙනුයි.

උදාහරණයක් ලෙස පසුගිය නියඟ තත්ත්වය තුළ දේශීය ඉල්ලුම සම්පූර්ණ කිරීම හා මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා පසුගිය 2017 වර්ෂයේදී විදේශයන්ගෙන් සහල් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වුණා. එය මෙට්‍රික් ටොන් 7, 48,000ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ඊට සමගාමීව දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා තිරිඟු මෙට්‍රික්ටොන් 1, 250,000ක් ද, ආනයනය කිරීමට සිදු වුණා. එහෙත් මොරගහකන්ද – කළුගඟ, වයඹ ඇළ ඇතුළු දැවැන්ත වාරි සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීම සමඟ ඉදිරියේදී මේ ආනයන විශාල වශයෙන් අඩු කිරීමට හැකියාව ලැබෙන බව පැහැදිලියි. මහින්ද රාජපක්ෂ යුගයේ කෘෂිකාර්මික සංවර්ධනයට අත්‍යවශ්‍ය වාරි සංවර්ධනය පැහැර හැරීම නිසා 2015-17 නියඟ තත්ත්වයට මුහුණදීම අසීරු වූ බව අප මෙහිදී වටහා ගත යුතු කරුණයි.

දෙපිට කාට්ටු කතා

ආනයන පාලනය සඳහා බදු පැනවීම ආදිය නොකරන බවට මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාව ගැන ද මෙහිදී අපි අපගේ අවධානය යොමු කළ යුතුයි. මන්ද මෙය හිතාමතාම ජනතාව නොමඟ යැවීමට කරන ප්‍රකාශයක් බව පැහැදිලි වන නිසයි. උදාහරණයක් ලෙස ආණ්ඩුව පසුගියදා ආනයනික රෙදිපිළි හා ඇඟලුම් මත සියයට 15ක බදු පැනවීමක් කළ විට රාජපක්ෂ කල්ලියේ ප්‍රබලයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා කිඹුල් කඳුළු හෙළමින් කියා සිටියේ මේ බදු පැනවීම් මගින් පමුණුව ඇතුළු ලක්ෂ 10කට පමණ උන්හිටි තැන් පවා අහිමි වන බවයි.

ඒ සමඟ කිරිපිටි, සීනි ඇතුළු ආනයනික භාණ්ඩ මත බදු පැනවූ වහාම ඒවායේ මිල ඉහළ යාම දඩමීමා කර ගන්නා රාජපක්ෂ කල්ලිය “ජීවන වියදම ඉහළ යන බව ” කියමින් ජනතාව කුපිත කරවීමට වෑයම් කරන බව අප අමතක කළ යුතු නැහැ. ඒ නිසා “කෙළවරක් නැති නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන” බවට චෝදනා කරන මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු කරුණ වන්නේ යම් බදු පැනවීමක් සිදු වූ වහාම හනුමාගේ භූමිකාව රඟපාන රාජපක්ෂ කල්ලිය සමඟ මෙවැනි ප්‍රවේශයක් වෙත ආණ්ඩුව පිවිසෙන්නේ කෙසේද ? යන ප්‍රශ්නයයි.

“ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම් විදේශ ණය පරිමාව ඉතා ප්‍රවේශමෙන් පාලනය කළ යුතුය” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට උපදෙස් දෙන්නේ කුමන පදනමක සිටදැයි ජනතාවට පැහැදිලි කළ යුතුයි. මන්ද රාජපක්ෂ පාලනය ක්‍රියාත්මක කළ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ඇතුළු දැවැන්ත හම්බන්තොට සංවර්ධනයේ ඍජු වන්දි ගෙවමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව නිසයි. කිසිදු ඵලදායී ආර්ථික ප්‍රතිඵලයක් ලබා නොදුන් මේ සුදු අලි නඩත්තු කිරීමේ මුළු බරම දැන් දරමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව විසිනුයි.

වත්මන් ආණ්ඩුවට මේ වන විට ගෙවමින් සිටින සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 80ක් ඍජුවම රාජපක්ෂ යුගයේ කෙටි කාලීන ණය බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව රාජපක්ෂලා ලකුණ දා ගත් සියලුම වැඩවලට බිල ගෙවන්නේ වත්මන් ආණ්ඩුව බව පැහැදිලි කරුණක්. කිසිදු ඵලදායි ආර්ථික ප්‍රතිපත්තියකින් තොරව ගෙන ගිය රාජපක්ෂ දශක පාලනයේ අඳුරු සෙවණැලි තවදුරටත් ආර්ථිකය තුළ හොල්මන් කරමින් සිටින බවක් මේ අනුව අපට වටහා ගත හැකියි.

රාජපක්ෂ යුගයේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූ පී.බී. ජයසුන්දර මහතාට “ආර්ථික ඝාතකයා” යැයි චෝදනා කරමින් මුළු රටක් හිනැස්සූ විමල් වීරවංශ, හෙජින් සූදුව, ග්‍රීක බැඳුම්කර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආදි නාස්තිකාර ව්‍යාපෘති සඳහා ජාතික ධනය කාබාසිනියා කළ අජිත් නිවාඞ් කබ්රාල් ආදීන්ගෙන් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රීඩා කිරීමට කැසකවන තෙවැනි ඉනිම ගැන ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව අපගේ අදහසයි.

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *