ඊනියා ජාතික ආණ්ඩුවට පුරවැසි බලයෙන් දැඩි විවේචනයක්

Janaදේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සඳහා වසර දෙකකට සම්මුති බද්ධ ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ යෝජනාවට පුරවැසි බලය එකඟත්වය පලකළ නමුත් දැන් යෝජිත දියාරු ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට මෙතරම් විශාල ඇමති මණ්ඩලයක් අනවශ්‍ය බව “පුරවැසි බලය” සංවිධානයේ අදහස බව වාර්තා වේ.
මැතිවරණයෙන් අනතුරුව පසුගිය 31 දා රැස් වූ පුරවැසි බලය වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ඡාකර තිබේ. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ සැකකරුවන්ගෙන් රඳවාතබා ගැනීමේ නියෝගය මගහැරීමට එරෙහිව මැදිහත්වීමට පුරවැසි සංවිධානවලට සිදු වූ බව එහි නායකයින් සභාව දැනුවත්කර ඇත. ඇවන්ට්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති ක්‍රියා කළ ආකාරයට ද සියළුම දෙනාගේ අප්‍රසාදය ද මෙහි දී පළවී තිබේ.
නෑසූ කන්වලා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උත්සුක වී සිටින්නේ තම තමන්ගේ හිතවතුන්ට ඇමතිකම් ලබාදීමට බවත්, මේ අතරතුර පසුගිය ආණ්ඩුවේ වැරදිකළ බවට ප්‍රචලිත චූදිතයින්ව ඒවායින් ගැලවී යමින් සිටින බව මෙම සාකච්ඡාවේ දී ඇතැමුන් පෙන්වා දී ඇත. ප්‍රධාන පක්ෂ දෙක එක් වී ජාතික ආණ්ඩුවක් පිහිට වූ බව රටට ප්‍රකාශ කරමින් විපක්ෂයේ කාර්ය ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලබාදිමට මෛත්‍රිපාල සිරිසේන මහතා ගනුලබන උත්සාහය ද මෙහිදී දැඩි විවේචනයට ලක්ව ඇත. මේ අනුව පුරවැසි බලයේ අදහස වී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ වගකීම් දෙකම එකවර දැරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දරණ කපටි උපාය පරාජය කළයුතු බව ය. ඒ අනුව හැබෑ විපක්ෂය වන දෙමළ සන්ධානයට ඒ තැන ලබාදියයුතු බව පුරවැසි බලයේ අදහස වී ඇත.
පොරොන්දු වූ පරිදි අදාල විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කෙරෙන බරපතල ප්‍රතිසංස්කරණ පැත්තකට තබා තම පක්ෂය ප්‍රමුඛත්වය තබා කටයුතු කරන ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට ද මෙහිදි දැඩි අප්‍රසාදය පල වී තිබේ. රටට මේ මොහොතේ කිරීමට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට වඩා තම පක්ෂයට ඉදිරියේ ද බලය ලබාගැනීමේ ව්‍යාපෘතියක ජනාධිපතිවරයා නිරතව සිටින බව මෙහි ඇතැමෙකුගේ අදහස ය.
බරපතල ලෙස ආණ්ඩුව විවේචනය කිරීමෙන් රාජපක්ෂ ප්‍රමුඛ ෆැසිස්ට් කල්ලියට නැවත හිස එසවීමට අවස්ථාව ලැබෙන හෙයින් මේ පිළිබඳව පරිස්සම් වියයුතු බවට මෙහි ද කිහිප දෙනෙක් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම විමල් වීරවංශ ද ආණ්ඩුවට විවේචන කරමින් සිටින අවස්ථාවක අපි ද ඒගොඩට නොවැවෙන්නේ ද යනුවෙන් ඇතැම් අය ප්‍රශ්න කර තිබේ. විමල් වීරවංශගේ විවේචනයට පදනම් වී ඇත්තේ රාජපක්ෂගේ පාලන සමය තුළ සිදු වූ නීතිවිරෝධි, ජාතිවාදී, විනාශකාරි පියවරයන්ට එරෙහිව ඉබි ගමනින් නමුත් ආණ්ඩුව තල්ලූ වීම පිළිබඳව ය. එහෙත් පුරවැසි බලය ආණ්ඩුව විවේචනය කරන්නේ එම දූෂිතයින් එළිදරව් කර ඔවුන්ට දඩුවම් දීමට ඉක්මන් පියවර නොගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ දියාරු කර පක්ෂ දෙක එක්ව ඇමති මණ්ඩලය පමණක් පුළුල් කරගැනීමට එරෙහිව ය.
ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් සහ විශාල ඇමති මණ්ඩලයක් පත්කරගන්නේ නම් එයට සරිලන බරපතල ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බව පුරවැසි බලයේ අදහස ය. ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට එරෙහිවු නිමල් සිරිපාල ද සිල්වාගේ යෝජනාව පිළිගත්තේ නම් සරල බහුතරය නියෝජය කරන ආණ්ඩුවක් ප්‍රමාණවත් ය. එසේ තිබිය දි ජාතික ආණ්ඩුවක් පිහිටුවීම යනු ඇමතිකම් බෙදාගැනීමක් පමණක් අටවාගත් එකක් බව පුරවැසි බලයේ අති බහුතරයේ අදහස වී තිබේ.

ජාතික ප්‍රශ්නයක් නැතිබව පවසා තවදුරටත් මහින්දවාදි ක්‍රමයක් වෙනු වෙන් පෙනී සිටින විමල් වීරවංශ ඇතුලූ ජාතිවාදි නඩයේ විරෝධයට වඩා පුරවැසි බලය ආණ්ඩුවට එල්ලකරන විරෝධයේ වෙනසක් ඇති බව මෙහි ද අති බහුතරයක් වූ පිරිස පෙන්වා දී තිබේ. පසුගිය මැතිවරණයට පෙර සකස්කරන ලද පුරවැසි බලයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලගදීම එළිදක්වා ඒ මත පදනම්ව පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ඉටුකර ගැනීමට, නැවතත් ජනතාව සංවිධානය කිරීමට පුරවැසි බලය තීරණය කළ බව යුක්තියට වාර්තාවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *