දෙයියන්ගෙ හාල්

චයිනා හාබර් එකෙන් ඩොලර් ලක්ෂ හත්සිය හැට ගත් පුවත සරමේ මඩ ගියාසේ පත්තරවලත රූපවාහිනී වලත් පතුරු ගසනු දුටු සාටක රජා මර්වින් ආචාරියාගේ අගේ දැනෙන්නේ මේ වෙලාවට තමා කියා කීවේය .

ඒ අසා සාටක බිසව ඇයි මර්වියාට කියා ගත් මුදල් ආපසු චීනයට ගෙවා දමන්නටද කියා ඇසුවාය .

පිස්සුද යෝදියේ මම ගත්තු දෙයක් එහෙම ලේසියෙන් ආපහු දෙන මිනිහෙක් නෙවෙයි .මම රටේ අයිතිකාරයා නෙවෙයි කියාගෙන ඇවිත් මගේ ඉඩම් වගේ රටේ ඉඩම් චීනෙට වික්කා මතක නැද්ද? කැමැති කැමැති විදියට ඉඩම් බෙදුවා මතක නැද්ද ?අහෝසි කරනවා කියපු විධායකයේ ජීවිත භුක්තියට ලියාගත්තා මතක නැද්ද? ගත්තු දෙයක් ආපහු දෙන්න හිතනවානම් ජනාධිපති කමේ ඉදන් මන්ත්‍රී කමට මාරු වෙලා ආයෙත් මහ පුටුවට කුරුමානම් අල්ලනවද? කියා එවිට සාටක රජා ඇසුවේය .

එහෙනම් මොකටද මේ හදිසියේ මර්වින් ආචාරියා මතක් වුනේ කියා එවිට බිසව ඇසුවාය .

වෙන මොකකටවත් නෙමේ ඇමරිකාවට යවන්න සාටක එයට උත්තර දුන්නේය .

ඒ අහවල් දේකටද ඇමරිකාවට යවන්නේ තානාපති කමකටද බිසව ඇසුවාය .

ඔය මෝඩයාට මොන තානාපති කම්ද කියා එවිට රජා කෝපයෙන් ඇසුවේය .
ඇයි ඔයා ඒකාලේ තානාපතිකම් වලට යැවුවේ ඔක්කොම බුද්ධිමත්තුද? දැන් ඔය උදයංග කරලා තියෙන හරිය මදිද? කියා කී බිසව ඉතිං මොකටද ආචාරියා ඇමරිකාවට යවන්නේ කියා ඇසුවාය .

ඇමරිකාවට කිවුවට ධවල මන්දිරයට නෙවෙයි වොෂින්ටන් පෝස්ට් කන්තෝරුවට කියා සාටක රජා කීවේය .

ඒ මොකද ආචාරියා වොෂින්ටන් පෝස්ට් එකේ කර්තෘ මණ්ඩල උපදේශක කරන්නද කියා එවිට බිසව ඇසුවාය .

අනේ වූ දන්න උපදේසේ උපදෙස් දෙන්න නෙමේ මෙහේ රූපවාහිනියට ගිහිං දාපු සෙල්ලම වගේ සෙල්ලමක් දාලා වොෂින්ටන් පෝස්ට් එක පෝස්ට් කාඩ් එකක් කරලා හොද පාඩමක් උගන්නලා එන්න කියා සාටක කීවේය .

ඔයා හිතන්නේ ආචාරියා රූපවාහිනියට ගිහිං පාඩමක් උගන්නලා ආවාද නැත්නම් ඔලුවේ ඉදන් ඩයි හලාගෙන පාඩමක් ඉගෙන ගෙන ආවාද කියා එවිට බිසව කීවාය

ඒම වුණාම මෑන් දෙවනි ඉනිමේ දැලි පිහියෙන් මූණේ ඉර ඇදලා අතපය කඩලා හොදට ලකුණු රැස් කලා කියලා මතක නැද්ද කියා එවිට රජා ඇසුවේ සකන්ඩ් වෙන්නේ මොකටද බඩුත් තියාගෙන කියා හිතමිනි.

ඔය වැඩේට ඉතිං ආචාරියා මොකටද බය ගෝතාට වැඩේ බාර දුන්නානම් සන්ඩේ ලිඩර් නෝනට ඒ කාලේ කතා කරපු භාෂාවෙන් දෙකක් කතා කරලා ප්‍රශ්නේ එක කෝල් එකෙන්ම නිරාකරණය කරලා දෙවියනේ කියූ බිසව නැවතත් කීවේ, බය ගෝටට නම් ඇමරිකාවට ගිහින් වුණත් ප්‍රශ්නේ විසදලා එන්න පුලුවන් පුරවැසියා හින්දා අමුතුවෙන් විසදන්න වගේ දේවල් වලට කරදරත් නැහැනෙ කියාය.

පොර යවලා හරියන්නේ නැහැ.ඌ වැඩකට අතගැහුවොත් හත් පොලේ ගාගන්නවා. කීත් නොයාර්ගේ කේස්,ලසන්තගේ කේස්, එක්නැලිගොඩ කේස් ඔක්කොම අතේ පත්තු කරගෙන මෑන් හිට්ලර් පන්නයේ පොරක් කියලා හාමුදුරුවොත් ප්‍රසිද්ධියේ කියන තැනට ආවා නේද කියලා එවිට රජා කීවේය .

ඒක නෙවෙයි මෙයා බය ගෝතා දිනුවත් ආණ්ඩු කරන්නේ ඇහිල් බැසිල් කියලා එයා කියලා තිබුණා .මොකක්ද ඒ කතාවේ තේරුම කියා බිසව ඇසුවේ ළගකදී පත්තරයක පළවී තිබුණු සාකච්ඡාවක් මතක්වූ නිසාය .

ඇත්තටම ඌ එහෙම කියලා තිබුණද කියා රජා එවිට ඇසුවේ පුදුමයෙන් ඇස් ලොකු කරගනිමිනි.

ඩේසි ආච්චි පල්ලා කියලා තිබුණා. රටටම බොරු කිවුවට මම ඔයාට බොරු කියනවද මෙයා කියා බිසව කීවේ කතරගම දොදොල් වලටත් වඩා හොද තොදොල් පාරක් දමමිනි.

මම මිනිසුන්ගේ කොයි අයිතිය නැතිකලත් හීන දැකීමේ අයිතියට අත තියන්නේ නෑ. ඌත් ඔහේ ඔය හීනේ දැකපුවාවේ.ජාතියේ මල නාමල පිපෙනකං මොන මොනවහරි කියන්න ඕන නේද කියා එවිට රජා කීවේය .

අන්න ආයෙත් චීන සල්ලි කතාව කියනවා.මේවා එළිවුණාම අපට වෙන්නේ ජාතියේ මල පිපෙන්නත් කලින් හම්බන්තොට නැව් නැති වරායට පැනලා දිවි තොර කරගන්න කියමින් බිසව වියරුවෙන් කෑගසන්නට පටන් ගත්තාය.

ඒ දුටු රජා වහා ඇල්ල පැත්තේ භික්ෂුව සොයා ගියේ බිසව සනසන්නට සිංදුවක් වත් ලියවා ගන්නා අටියෙන් වුවත් රජා යනවිට භික්ෂුවත් හිටියේ ඔල්මොරොන්දම්ව ඔලුව කරකවමිනි. ඒ චීනයෙන් ලැබුණු දෙවියන්ගේ හාල් වලින් කොටසක් උන්නාන්සේටද කැවූ බව සාටක රජාට මතක්වූයේ එවිටය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *