රට කරන හැටි ගෝඨා කියද්දී ඒකාබද්ධයෙන් උද්ඝෝෂණ මාලාවක්
* වර්ෂාවෙන් ජනපතිට ආශිර්වාදයක්
* පැනලා ගිය අයගේ වැදි බණ
* කිරිඇල්ලගෙන් වජිරට හංස පූට්ටුවක්
* ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධයේ කතා නෑ
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ලෙස කටයුතු කරන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේයි. එම සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම පසුගියදා පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ විශේෂ ආරාධනයෙන්. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ද ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ද ඇතුළු සම්භාවනීය පිරිසක් එයට සහභාගී වී සිටියා.
එහි දී කතා කරමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු රටේ ජනාධිපති වී සිටින නිසා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය අයිතිවාසිකම් රැසක් ජයගැනීමට හැකිවූ බවයි. හෙද සේවාව තුළ තිබෙන වෘත්තීය සංගම් වාද භේදවලින් තොරව කටයුතු කරන්නේනම් අයිතිවාසිකම් දිනාගැනීම පහසුවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළා.
කුරූණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය අසල ඉදිකර තිබූ රණවිරු ස්මාරකය මාර්ගය පුළුල් කිරීමේ අවශ්‍යතාවය නිසා ඉවත් කිරීමට සිදුවීම ආණ්ඩුවේ විරුද්ධවාදීන් යොදාගත්තේ වැරදි අර්ථකථන දීමටයි. ආණ්ඩුව රණවිරුවන් නොතකා හරින බවත් ස්මාරක කඩා දමන බවත් ඔවුන් ප්‍රකාශ කළා. එසේ වුවද එම ස්මාරකය ඉවත් කළේ වඩා විශාල අභිමානවත් ස්මාරකයක් ඉදිකිරීමට සැලසුම් කිරීමෙන් පසුවයි. එලෙස අලුතින් ඉදිකළ රණවිරු ස්මාරකය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පසුගියදා විවෘත කළේ ජනාධිපතිතුමාගේ සුරතින්. යුද්ධයේ දී වයඹ පළාතෙන් ජීවිත පූජාකළ රණවිරුවන් 4135කගේ නම් මෙම ස්මාරකයේ සටහන්කොට තිබෙනවා.
රණවිරු ස්මාරකය විවෘත කරන අවස්ථාව වනවිට කුරුණෑගල ප්‍රදේශයට මහවැසි ඇදහැලෙමින් තිබුණා. එම වැසි කිසිවක් නොතකා එම ස්ථානයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්මාරකය විවෘතකොට උත්සවයේ වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. වයඹ පළාතෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියා. එහි දී කතාකරමින් ජනාධිපතිතුමා කීවේ වර්ෂාව ආශිර්වාදයක් කොට සැලකිය යුතු බවයි. අව්ව, වැස්ස, සුළඟ කියා අතීතයේ මිනිසුන් වැඩ කටයුතු අත්හැරියේ හෝ කල්දැම්මේ නැති බවත් ජනාධිපතිතුමා කීවා.
ඇතැමුන් දේශපාලන අරමුණු සඳහා රණවිරුවන් යොදාගන්නා ආකාරය පෙන්වාදුන් ජනාධිපතිතුමා එබඳු අරමුණු සඳහා රණවිරුවන් යොදාගැනීම නොකළ යුතු බව ද ප්‍රකාශ කළා. ජනාධිපති කාර්යාලය ඉදිරියට ආබාධිත රණවිරුවන් කැඳවා පොලිසිය සමඟ ගැටුමක් ඇතිකළ හැටි ගැන විස්තර කළ ජනාධිපතිතුමා එම ස්ථානයට කොළඹ ප්‍රදේශයේ යාචකයන් හා රස්තියාදුකාරයන් රැගෙනවිත් තිබූ ආකාරයද කීවා. ඒ සියලුදෙනා ගැන විස්තර සොයාගත් බව ද ජනාධිපතිතුමා කීවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා හිමිදිරියේම හක්මණ බලා ගියේ ප්‍රබල එජාප හිතවතුන් වන වනිගසේකර පවුලේ අවමංගල්‍යකට එක් වීමටයි. හක්මණ ගොස් උදේ 9.00 වන විට යළි කොළඹ පැමිණි අගමැතිවරයා නිවසට ගොස් අනතුරුව අරලිය ගහ මැදුරට ගියේ ජාත්‍යන්තර හෙද දින සැමරුමට එක්වීමටයි. එම උත්සවය ඇරඹීමට පෙර තමා හමු වීමට පැමිණ සිටි මැති ඇමතිවරු කිහිප දෙනෙක් සමඟ කතා බහ කිරීමට අගමැතිවරයා අමතක කළේ නැහැ.
“රාජපක්ෂගෙ කාලේ තෙල් බැරලයක් ඩොලර් 60 යි.එතකොට පෙට්‍රල් රුපියල් 157යි.අද බැරලයක් ඩොලර් 78යි. ඒත් අපි රු.137 ට දෙනවා.තාමත් අපි ජනතාවට එදාට වඩා අඩුවට ඉන්ධන දෙනවා.සමහර ජනමාධ්‍ය මේක ඇවිස්සුවට ජනතාව සත්‍ය දන්නවා.”අගමැතිවරයා කිව්වා.
“ධීවරයන්ට රු.දස ලක්ෂ 4000ක හා විදුලිය නැති 47, 555 කට භූමිතෙල් රු.44 ගානේ තිබුණු මිලටම දෙනවා. අනික භූමිතෙල් මිල වැඩි කිරීමෙන් බස් ලොරිවලට ඒවා ගහන එක නැවතිලා භූමිතෙල් අලෙවිය 50% කින් බැහැලා.” ගයන්ත කරුණාතිලක කිව්වා.
“ මේ වසර අග වෙනතෙක් ඉන්ධන මිල ලෝකයේ අඩු වෙන්නෙත් නෑ. ඒ වගේම වැඩි වෙන්නෙත් නැති බවට තොරතුරු තියෙනවා.” දයා ගමගේ ඇමතිවරයා කිව්වා.
“බස්වලට 6.5% ක ගාස්තු වැඩිවීමක් මුලින් දීලා ඒක 12.5% ට වැඩි කළේ ඇයි කියලා මිනිස්සු අහනවා.බස් ස්ට්‍රයික් එක වළක්වා ගැනීම ලොකු දෙයක්.” විජේදාස රාජපක්ෂ කිව්වා.
“ සයිටම් ප්රශ්නය ගොඩින් බේරාගන්න විජේදාස ඇමතිතුමා මැදිහත් වීම වටිනවා.” දයා ගමගේ ඇමතිවරයා කිව්වා.
“ සුදුසුකම් ඇති සියලු සයිටම් ළමයි කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට දානවා. ඊට කැබිනට් අනුමැතිය මම ගත්තා.” විජේදාස රාජපක්ෂ කීවා.
“ ඇමැති සංශෝධනයේ දී කිරිඇල්ල ඇමතිතුමාට අලුත් ආයතන 07 ක් හා විජේදාස ඇමතිතුමාට 12 ක් ලැබීම ගැන සුබ පතනවා. ” බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ ඔවුන්ට සුබ පතමින්.
“ වියත් මග” ගෝඨාභයගෙ ජනාධිපති වීමේ සෙල්ලමේ අලුත්ම පිම්ම ආරක්ෂක අමාත්‍යංශ ඉඩම විකුණලා හදපු ෂැංග්‍රිලා හෝටලේ පැවැත්වීම සරදමක්. ඒ උත්සවයට කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරල. ඒ සල්ලි කොහෙන්ද කියල ඒ අය රටට කියන්න ඕනෑ.” රන්ජන් රාමනායක සිය සුපුරුදු බෝම්බ ප්‍රහාරය දියත් කළා.
“ මිග් චෝදනාව, අපි වෙනුවෙන් අපි අරමුදලට අදාළ චෝදනාව, සුදු වෑන්, අතුරුදහන් කිරීම් ගැන චෝදනා ඇති අය රට හා රටේ සම්පත් බේරා ගැනීම ගැන කතා කිරීමයි දේශපාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් තොර වීම ගැනයි කතා කරපු එක තමන්ගේ කාලෙ කරපු වැරදි ගැන කරපු පාපොච්චාරණයක් බව ජනතාවගේ මතයයි.” රන්ජන් වැඩි දුරටත් කිව්වා.
“අර දිගන ගිනි තියපු මහසෝන් බලකායේ ප්‍රධානියාට මසකට රු.40, 000ක් පඩි හා ඒ ගොඩනැගිල්ලට මාසික කුලී ගෙවලා තියෙන්නේ මහනුවර පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් බව ත්‍රස්ත විමර්ශන ඒකකය හඳුනාගෙන තිබෙනවා.” පී හැරිසන් කිව්වා.
“ ගෝඨා, බැසිල් අභිබවලා ඉස්සරහට එන්න ජනපති කැම්පේන් පටන් ගත්තට ඡන්දය එන කාලෙ වෙනකොට කැම්පේන් එක පිලුණු වෙලා ඉවරයි.මහින්ද හා නාමලුත් ඒකට ඉඩදීල සද්ද නැතුව ඉන්නවා කියල ආරංචියි.” චමින්ද විජේසිරි කිව්වා.
“ සිංගප්පූරුව එක්ක ගහපු ගිවිසුමෙන් ලංකාවට අවාසි බව කියල දොස්තරල කොහේ හරි යන ප්‍රශ්නයක් අල්ලං වර්ජනවලට යාම පුදුමයක්.ඒ ගිවිසුම හරහා විශේෂඥයන් හා කළමනාකරුවන් කීප දෙනෙකුට විතරක් ලංකාවට එන්න පුළුවන්. ඒත් වෘත්තිකයන්ට හා වෙනත් සේවකයන්ට එන්න බැහැ කියල කිව්වට මේ අය පිළි නොගැනීම තුළ පටු දේශපාලනය තියෙන්නේ ”පී හැරිසන් කිව්වා.
“ විපක්ෂයට බලය නැතිව අද පුදුම අමාරුවක් තියෙන්නේ. අද ඩොලර් බිලියන 11ක සංචිත රටට තියෙනවා. ආර්ථිකය හසුරුවා ගන්න බැරිව වසර 02 කට කලින් ජනාධිපතිවරණය තියලා පැරදුණු අය අද ආර්ථිකය හසුරුවන හැටි ගැන අපට බණ කීම විහිළුවක්. වැඩිම අපනයන ආදායම මේ රජය ලබා ගත්තා. ඩොලර් දසලක්ෂ 1900 ක වැඩිම ආයෝජනයත් අපි ගෙනාවා. රාජපක්ෂ යුගයේ බලෙන් රැකියාවලට පුරවල ආර්ථිකය අනාථ කළා. ඒත් අපි පුරප්පාඩුවලට හා අලුත් රැකියා ඇති කරලයි බඳවා ගැනීම් කරන්නේ. ගංවතුර, නියඟය හා කුණු කන්ද කඩා වැටීම ඇතුළු අභියෝග මැදයි අපි මේ ජයග්‍රහණ ගත්තේ. ණයත් ගෙවල රටේ සංවර්ධනයටත් මුදල් යොදවන රටක් අපි ඇති කළා. ජනතාවට ඉක්මනින් ඒ ප්රතිලාභ ලැබේවි.” අගමැතිවරයා පැහැදිලි කළා.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පසුගිය වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල්වලට බස් රථ ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹුවේ දෙබරවැව ජාතික පාසලෙන්. ඉන්පසුව සූරියවැව ජාතික පාසලට ද බස් රථයක් ලබා දීමෙන් පසුව බස් රථ ලබාදෙන ලෙස තවත් පාසල් ගණනාවකින් ඉල්ලීම් ගලා එන්නට පටන් ගත්තා. පරිත්‍යාගශිලීන්ගේ ආධාරවලින් මිල දී ගත් බස් රථ 8ක් ගිය වසර අවසාන කාලයේ වීරවිල කාර්යාලය වෙත රැගෙන ගියත් ඒ දිනවල පැවැති මැතිවරණ නීතිය යටතේ ඒ බස් රථ අදාළ පාසල්වලට ලබා දීමට නොහැකි වුණා. ඉකුත් සතියේ දී තිස්සමහාරාම, පන්නෙගමුව රාජකීය විදුහලට සහ හම්බන්තොට සුචී ජාතික පාසලට ඉන් බස් රථ දෙකක් පරිත්‍යාග කළා. මේ බස් රථ දෙකම එම පාසල් වෙත සිරිත් පරිදි පදවාගෙන ආවේ ළමයින්ගේ අත්පොළසන් හඬ මැද සජිත් විසින්මයි. ළමයින් 1200ක් පමණ ඉගෙනුම ලබන සුචී ජාතික පාසලට බස් රථයක් පිරිනැමීමේ උත්සවයෙන් පසුව සජිත් ගුරුවරුන් සමඟ පිළිසඳරක යෙදී සිටිය දී හදිසියේම එක් ගුරුවරයකු ඇසුවේ අපූරු ප්‍රශ්නයක්. “ඇමැතිතුමා රට වටේම උදා ගම්මාන හදාගෙන යනවා, ඒවා දකින්නත් ආසයි. ඔහොම යනකොට යනකොට අපි වගේ ගුරුවරුහෙම මතක් වෙන්නෙ නැතෙයි?” යනුවෙන්. සජිත් කීවේ “මොකද නැත්තේ, ගුරුවරු 232, 000ක් මේ රටේ ඉන්නවා. ඒ අය කරන සේවය, කැපවීම අපි ඉහළින්ම අගය කරනවා. ඒ අයගෙන් විශාල පිරිසකට නිවාස ගැටලු පවතින බවත් අපි දන්නවා. ගම්මාන 2500ක් හදන අපේ සැලැස්ම යටතේ ගුරුවරු අමතක කරලා නෑ. අපි දිස්ත්‍රික්කයකට එක බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගුරු ගම්මාන 25කුත් අනිවාර්යයෙන්ම ඉදි කරනවා” කියායි.
පසුගිය සිකුරාදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ ගාලු ගියා. ඒ පසුවදාට යොදාගෙන තිබූ උත්සව රැසකට සහභාගී වීමේ අපේක්ෂාවෙන්. ගාල්ලෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු ව්‍යාපෘති රැසක් විවෘත කිරීමේ අපේක්ෂාවෙන්. සෙනසුරාදා උදෑසනම ඇමැති වජිර අගමැතිවරයා සමඟ මුලින්ම සහභාගී වුණේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට. එහි දී උත්සව සභාවක් නො පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණ ද හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති එක්සත් ජාතික පක්ෂ හබරාදුව සංවිධායක තාරක නානායක්කාර මහතාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් අගමැතිවරයා උත්සව සභාවක් පැවැත්වීමට එකඟතාව පළ කර තිබුණා.
හබරාදුව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රුපියල් ලක්ෂ 458 ක වියදමින් ඉදිකළ ගොඩනැගිල්ල අගමැතිවරයා අතින් විවෘත කෙරුණා. විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේ දී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා සිය කතාව ආරම්භ කළේ රැස්ව සිටි බොහෝ දෙනකුගේ නම් කියා පිළිගනිමින්. මේ නම් කියවනවිට හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා දෙස බලා සිටි අගමැතිවරයා තම කතාව ආරම්භ කළේ ”විජේපාල මන්ත්‍රීවරයා නම් වශයෙන් කියූ සියලු දෙනාගෙන්ම අවසරයි” යනුවෙන් කියමින්.
අක්මීමණ විවෘත කිරීමෙන්පසු දිවා ආහාරය ගනිද් දී අගමැතිවරයා වජිර ඇමතිවරයාත් එතැන සිටි අනිකුත් මැති ඇමැතිවරුනුත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ගැන සාකච්ඡා කරමින් කියා සිටියේ එම සියලු සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් අවසන් කළ යුතු බවයි.
පසුව ගෝනාපීනුවල ජල ව්‍යාපෘතිය විවෘත කළ අගමැතිවරයා කෙලින්ම ගියේ ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, එහි තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු එදින අවසන් වැඩසටහන වූ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව්මහල් ගොඩනැගිල්ල අගමැතිවරයා අතින් විවෘත කෙරුණා.
ඉරිදා දිනය වජිර අබේවර්ධන ඇමතිවරයා මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන්කර තිබුණා. එදින උදෑසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා මහනුවර ඇති වූ කෝලාහලයේ දී හානියට පත්වූ පිරිසකට වන්දි ප්රදානය කිරීම සිදුකෙරුණේ ස්වදේශ කටයුතු අමාත්‍යවරායගේ ප්‍රධානත්වයෙන්. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාත්, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හලීම් මහතාත් මේ අවස්ථාවට එක්ව සිටියා.
” සිංහල ජාතිවාදයත්, මුස්ලිම් ජාතිවාදයත් දෙකටම අපි රජයක් ලෙස විරුද්ධයි. මේ ජාතිවාදය පතුරුවන අයට කිසිම සමාවක් දෙන්නේ නෑ. ” යනුවෙන් එහි දී අමාත්‍යවරයා කියා සිටියා. ඉන් අනතුරුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 20 බැගින් වැයකර ඉදිකරන ලද නිල සෙවණ කාර්යාල කිහිපයක් විවෘත කිරීමට ඇමැති වජිර හා කිරිඇල්ල දෙදෙනා එක්වූවා. මහනුවර දිස්ත්‍රික්කයට පැමිණි වජිර අබේවර්ධන ඇමතිවරයාට රන්වන් හංසපූට්ටුවක් සහිත සිහිවටනයක් පිරිනමමින් කිරිඇල්ල ඇමතිවරයා කීවේ ”මේක නෙවෙයි දෙන්න ඕන මෙතුමාට ඔටුන්නක් දෙන්න ඕනෑ. ” යනුවෙන්.
මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීම එදින සවස යොදාගෙන තිබුණා. දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට තවත් සුවිශේෂී අමුත්තකු එක්ව සිටියා. ඒ හිටපු අගමැති දි.මු.ජයරත්න මහතායි. උත්සවයට පැමිණි හිටපු අගමැතිවරයා දොළුව ප්‍රදේශය තමන්ගේ මූලිකත්වයෙන් සංවර්ධනය කළ හැටිත් දේශපාලන පක්ෂ බේදයකින් තොරව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දොළුව සංවර්ධනයට පියවර ගැනීම ගැනත් ස්තූතිවන්ත වුණේ ”මේ ඉඩම් මගේ බාප්පාගේ. මම ඒවා පවරා ගත්තා. මිනිසුන් වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු සංවර්ධන කටයුතු කළා. අපේ වජිර අබේවර්ධන ඇමතිතුමාත් පක්ෂ පාට බේදයක් නැතිව රටේ සංවර්ධනය වෙනුවෙන් මිනිසුන්ගෙ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ගැන සතුටු වෙනවා.” යනුවෙන් කියමින්.
රැස්වීම අවසානයේ ඇමැති වජිර හිටපු අගමැතිවරයාගේ නිවසට ගොස් සුහඳ කතාබහක නිරතවීමට ද අමතක කළේ නැහැ.
පසුදින උදෑසනම මහනුවර සිට ඇමැති වජිර මහියංගණයට ගියේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වීමට. ඒ අවස්ථාවට ආදිවාසී නායක වන්නියලෑත්තෝ ද පැමිණියා. වන්නියලෑත්තෝ දුටු ඇමතිවරයා සමරු ඵලකය විවෘත කිරීමේ කාර්යය ද ඔහුට පැවරුවා. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් මුල්ගල් තැබීමේ කාර්යයට ද වන්නියලෑත්තෝ සම්බන්ධ කරගැනීමට ඇමතිවරයා අමතක කළේ නැහැ.
ජවිපෙ 20වැනි සංශෝධනය කරළියට ගෙන ඒමත් සමඟ මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති අපේක්ෂයන් පිළිබඳවද කතාබහ ආරම්භ කර තිබෙනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිසක් කැඳවා ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වූ වැඩසටහන පිළිබඳවද ඇතැම් පිරිස් ජවිපෙ නායකයින්ගෙන්ද විමසන්නට පටන් ගත්තා. ජවිපෙ නායකයින් ඔවුනට අවධාරණය කළේ, තම පක්ෂය තනි තනි පුද්ගලයින්ට රට ගොඩනැගීමට හැකි යැයි විශ්වාස නොකරන බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳවත් ආණ්ඩුව අසාධාරණ ලෙස බඩු මිල ඉහළ දැමීම පිළිබඳවත් ජවිපෙ නායකයන් සාකච්ඡාළේ පසුගියදා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති හමුවකදීයි. ”අපි 20 ගේනවා කිවුවාම ඇතැම් අය මේ සංවාදය මගාරින්න ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා සංවාදයක් උඩට ගන්න උත්සහ කරනවා. ඇතැම් පිරිස් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා හිතේ තියාගෙන දේශපාලන න්‍යාය පත්‍ර හදලා. අපි 20 ගෙනාවට පස්සේ ඒක අවුල් වෙලා. ඒකයි මේ කලබල වෙලා දඟලන්නේ.” අනුර දිසානායක කීවා. ”සමහරු අපෙන් අහනවා දැන් ගෝඨා ආවොත් මොකද කරන්නේ කියලා.” බිමල් රත්නායක කීවා. ”හැමදාමත් මේ පක්ෂ දෙක අර්බුදයට යනකොට අලූත් මුණක් උඩට ගන්නවා. රටේ ජනතාව අලූත් මූණට කැමති වෙලා ඡන්දෙ දෙනවා. හැබැයි පරණ එන්ජිමම තමයි. ජේආර් වෙනුවට ප්‍රේමදාස ආවා. රට හැදුවද? ප්‍රේමදාසගෙන් පස්සේ චන්ද්‍රිකා ආවා. නූතන විහාරමහ දේවි කිවුවා. ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කිවුවා. කරගන්න බැරිවුණා. ඊට පස්සේ මහින්ද ආවා. අවුරුදු 10යි. වංචාවෙන් දූෂණයෙන් ඉහළම තැනට රට ගෙනාවා. රට විනාශ කරලා ගියා. යහපාලනය කියලා රනිල් මෛත්‍රී ආවා. දැන් රටට මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආරාජිකත්වය නිසා තව කෙනෙක් ගේන්න හදනවා. මේ විදියට මුහුණ මාරු කළාට මේ පක්ෂ දෙකේ පාලනයේ වෙනසක් වෙන්නේ නැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියා.
”සමහරු කතා කරනවා ගෝඨාභය මහලොකු ආර්ථික වැඩපිළිවෙළක් ගෙනාවා කියලා. ඒ කතාවේ තිබුණේ පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරපු කරන්න ගිය වැඩම තමයි. කෙටියෙන් ගත්තාම යූඑන්පී ආර්ථික ප්‍රතිපත්ති තමයි ගෝඨාභය කතා කළේ. ඒ කණ්ඩායමට කරන්න තියෙන හොඳම වැඬේ දැන්ම යූඑන්පීය එක්ක එකතු වෙලා ඒ වැඩ ටිකට සහාය දෙන එක.” ලාල්කාන්ත කීවා. ”රාජපක්ෂ ආණ්ඩුව කාලේ ආරක්ෂක මූලස්ථානය චීන සමාගමකට විකුණලා එතන හදපු හෝටලයේ ඉඳන් රටේ සම්පත් විකුණපු රාජපක්ෂ පවුලෙම කෙනෙක් රට හදන්න කතා කරනවා. මීට වඩා දේශපාලන විහිළු තවත් තියෙනවද?” නලින්ද ජයතිස්ස කීවා.ඒ විතරක් නෙවෙයි තමන්ගේ වංචා දූෂණ ගැන හොයන්න එපා කියලා, තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි නියෝග ඉල්ලන ගෝඨාභය වංචාදූෂණ නැති කරන්න කතා කරනවා..” විජිත හේරත් කියා සිටියා. ”ඇත්තටම 20 ජයග්‍රහණය කළ යුතු සංශෝධනයක්. මේක ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය අතර අරගලයක්. මේක ජයග්‍රහණය කරන්න උපරිම ආකාරයෙන් මැදිහත් වෙන්න ඕනෑ. ජනතාව අතර පුළුල් සංවාදයක් හදන්න ඕනෑ” අනුර දිසානායක කියා සිටියා.
ආණ්ඩුව විසින් විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා ගෙන එන ලද පනතට ජනතා විමුක්ති පෙරමුණද සහාය ලබාදුන්නා. මේ පිළිබඳවත් ජවිපෙ නායකයෝ කතාබහක නිරත වුණා. ”ආණ්ඩුව විශේෂ අධිකරණ පිහිටුවීමේ පනත ගෙනත් සම්මත කරගත්තට ඉදිරි ක්‍රියාමාර්ග කොහොම වෙයිද කියලා බලාපොරොත්තු තියන්න බැහැ. මොකද මේ ආණ්ඩුව පත්වෙලා මූලින් කරන්න තිබුණ වැඩක් තමයි දැන් අවුරුදු 03ක් පහු වෙලා තියෙන්නේ.” නලින්ද ජයතිස්ස කියා සිටියා. ”සමාජයෙන් ආපු විරෝධ නිසා ආණ්ඩුව ප්‍රමාද වෙලා හරි මේ ක්‍රියාමාර්ගය ගත්ත එක හොඳයි. නමුත් ඉදිරියේ දී වංචා දුෂණ ගැන කරන පරීක්ෂණ දේශපාලන පළිගැනීම් නොවන බව ආණ්ඩුව ඔප්පු කළ යුතුයි. ආණ්ඩුවේ වංචා දූෂණ ගැන තමයි මුලින්ම හොයන්න ඕනෑ. විශේෂයෙන් බැඳුම්කර ගනුදෙනුව.” විජිත හේරත් කීවා. ”ඒකාබද්ධයේ අය මේකට විරුද්ධ වුණේ දේශපාලන පළිගැනීම් කරනවා කියලා. නමුත් ඒ අයටත් මේක හොඳ අවස්ථාවක්. තමන්ට එල්ල වෙලා තියෙන චෝදනා විමර්ශනය කරලා ඒවා බොරු නම් චෝදනාවෙන් නිදහස් වෙන්න එයාලට පුළුවන්. ඇත්තට හොරකම් කරපු අය තමයි පරීක්ෂණවලට බය.” බිමල් රත්නායක කීවා.
ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්රශ්නය විසඳී නැතත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මහා සමුළුවක් කැඳවා තිබුණා. ‘වියත්මඟ’ සංවිධානයේ වාර්ෂික මහ සභාව ලෙස මෙය පැවැත්වූවද එහි තිබූ විශේෂත්වය නම් 2030 දක්වා රට ගමන් කළ යුතු මඟ පිළිබඳ දේශපාලන වැඩපිළිවෙළක් එහි දී ඉදිරිපත් වීමයි. වෙනදා යුද්ධය හා නගර සංවර්ධනය ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථික සංවර්ධනයේ මාවත ගැන මෙහි දී කතා කළා. බොහෝ දෙනා මෙය දැක්කේ දේශපාලන ගමනක ඇරඹුමක් වශයෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. මෙහි දී ප්‍රධාන දේශනය කිරීමට මාධ්‍යවේ දී රොහාන් ගුණරත්න කැඳවා තිබීම ගැන වියත්මඟ සංවිධානය ඇතුළේම මතෙභ්ද ඇති වූ බව වාර්තා වුණා. ‘වියත්මඟ’ සමඟ එක්ව සිටින දේශප්‍රේමී ලෙස හඳුන්වා ගන්නා පිරිස රොහාන් ගුණරත්නව දකින්නේ තමන්ගේ විරුද්ධ පිළේ අයෙක් විදිහටයි.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා පැවතියේ කොළඹ විජේරාම පාරේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීය. එහි දී පැය දෙකක පමණ සාකච්ඡා කළේ රටේ පවතින තත්ත්වය මත ඒකාබද්ධ විපක්ෂයේ උපාය මාර්ගය පිළිබඳවයි. එළැඹෙන ජනාධිපතිවරණය හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන හෝ කතා නොකරන්නට තීරණය කළ එම සාකච්ඡාවේ දී තීරණය වූයේ ඉක්මනින් මැතිවරණයක් ලබාගැනීමට උත්සාහ දැරිය යුතු බවටය. තව කල්ගත වුවහොත් ආර්ථිකය වර්ධනය වීම තුළ ආණ්ඩුව ශක්තිමත් වන බවත්, එබැවින් මේ අවස්ථාවේම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ කළ යුතු බවත් එහි දී තීරණය වුණා.
රටපුරා උද්ඝෝෂණ සංවිධානය සඳහා කමිටුවක්ද එහි දී පත්කර ගත්තා. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහාචාර්ය තිස්ස විතාරණ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් එයට ඇතුළත් වනවා. ඒකාබද්ධ විපක්ෂය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ යුතු බව කියන කණ්ඩායම මෙන්ම එයට විරුද්ධ කණ්ඩායමද කමිටුව තුළ සම සම මට්ටමෙන් නියෝජනයවීම විශේෂත්වයක් වුණා.
ගොසිප්ලන්තය
දිනමිණ

