අපේ සිහින සිරිත් විරිත් – නිශාන්ත කමලදාස
දක්ෂ අය තෑගි ලබන තෑගි ප්රධානෝත්සවවල දක්ෂයින් තෑගි දෙන අයට දණ ගසා වඳිනවා දැක ගත හැකි ය. ප්‍රණාමය හිමි විය යුත්තන් දණ ගහන රටක් ඇත්නම් ඒ ලංකාව විය යුතු ය.එය සංකේතාමත්මකව දක්වන්නේ අප රටේ දක්ෂයන්ට සිදු වන නස්පැත්තිය ය.ගරු බුහුමන් ලැබිය යුතු අය පීචං කරවන ඛේදවාචකය ය.එය සිරිතක් නම් ඒ සිරිත දුරු කළ යුතු නොවේ ද? එවැනි දුරු කළ යුතු සිරිත් බොහෝ ය.අපේ කරුමයකට දුරු කළ යුතු එවැනි සිරිත් කර පින්නාගෙන යන්නට පෙළ ගැසුණු බලවේග රාශියක් අපට ඇත.
සිවුරකට විශාල සමාජ බලයක් ලැබි ඇත්තේ මේ සිරිත්වලට පින් සිදු වන්නට ය.අප අනුයන සිරිතට අනුව අප වඳින්නේ සිවුරට ය.චීවරධාරියා දුස්සීලයෙක් වුව ද අප අනුයන සිරිත්වලට අනුව ඔහුට ගරු බුහුමන් ලැබිය යුතු ය.පුද සත්කාර ලැබිය යුතු ය.ඔවුන් කුමක් කළ ද කුමක් බිණුව ද ඒ සියල්ල ඉවසිය යුතු ය. ඒ නිසාම නීතිය ක්‍රියාත්මක කරන ආයතන පවා අසරණ කරමින් හැසිරෙන මැරයින්ගෙන් මේ වන විට ශාසනය පිරී ඇත්තේ ය. මේ සිරිත අභිමුඛව සෙසු මිනිසුන් අසරණ වීම ගැන කතා කිරීම ද පලක් නැත.
මේ නිසා ධර්ම සාකච්ඡා නැත. සැක ඇති තැන් විමසීමට ඉඩක් නැත. ඒ වෙනුවට ඇත්තේ එක දිසාවකට යෙදෙන ධර්ම ඝෝසාවක් පමණ ය. තමන්ගේ මතය අන් අය විසින් ප්‍රශ්න නොකොටම පිළිගත යුතු යැයි නැගෙන ඝෝර නාඩු පමණ ය. ධර්ම සාකච්ඡා සිදු නොවෙතත් භික්ෂුන් විසින් එකිනෙකාගේ බණ විවේචනය කරන සංස්කෘතියක් නම් අපට ලැබි තිබේ. අප විවේචනය නොකරනවා නම් කවුරුන් විසින් හෝ මේ තිරස්චීන බලය විවේචනය කිරීම එක අතකට හොඳ ය.
වයසට ද සැලකිල්ලක් ලැබෙන සේ අපේ සිරිත් විරිත් සකස් වී ඇත්තේ ය. ඒ අනුව වැඩිහිටියන්ට ගරු කළ යුතු ය. පියා හතර ගාතයෙන් ගෙදර පැමිණිය ද මුළු ගමටම කුණුහරුප දෙසමින් පවුලටම නිගාවක් ඇති කළ ද ඔහු පියා නිසා දරුවන්ගේ සැලකුම් ලැබිය යුතු ය. බුහුමන් ලැබිය යුතු ය. දරුවන්ට කළ හැකි එක ම දෙය මග හැර සිටිම ය. ඉවසා කර බා ගැනීම ය. වෙස්සන්තර ජාතකයේ එන ජාලිය ක්‍රිෂ්ණජිනා පියාගේ අසම්මත දානය ඉවසා සිටියාක් මෙන් ඉවසා සිටීම ය.
ඒ සිරිතට ම අනුව ස්වාමි පුරුෂයා බිරියගේ ගරු බුහුමනට ලක් විය යුතු ය. කොතෙක් නොපනත් කම් කළ ද ඉවසා සිටිය යුතු ය. මහෝෂධ පඩිතුමා සම්බන්ධයෙන් අමරා දේවිය දැක් වූ ඉවසිල්ල සිහිපත් කරමින් නොබැණ ඉවසා සිටිය යුතු ය.
ගුරුවරයෙකු ප්‍රශ්න නොකළ යුතු ය. ගුරුවරයකු විසින් ඇති කරන කායික මානසික පීඩාවන් සියල්ල ද තමන්ගේ යහපත පිණිස ම සිදු කරන ලද්දේ යැයි සිතා ඉවසිය යුතු ය. එවැනි පීඩාවක් ඇති කරමින් දුන් දඬුවම් පසු කලෙක තමන්ට යහපතක් ම ඇති කළ බව කියමින් සිහිපත් කළ යුතු ය.
ජේෂ්ඨ උත්තමයන් කෙරෙහි නවකයන් සිටිය යුත්තේ ද ඒ පක්ෂපාතිත්වය පළ කරමින් ඔවුන්ගේ අවවාද අනුශාසනා අනුව යමින් ය. එය සරසවියේ හෝ කාර්යාල ජිවිතයේ හෝ විය හැකි ය. වෙනස සරසවියේ එය උත්තමයා යන ගාම්භීර නාමයෙන් එම උප සංස්කාතිය විසින් අභිෂේක කරනු ලැබ තිබීම පමණ ය. වෙනත් විදිහකට කියන්නේ නම් නමින් නැතත් කාර්යාලවල වැඩ වාසය කරන ජේෂ්ඨයන් ද පෙනී ඉන්නේ උත්තමයන් හැටියට ය. සෙසු අයට සිදු වන්නේ හරියට රජුන් ඉදිරියේ යටත් වැසියන් ජීවත් වූ ලෙස සිය චර්යාව හදා ගැනීමට ය. දුටු තැන හුනස්නෙන් නැගිට ආචාර කිරිමට ය. වත්මන නම් පාලකයන් ඉදිරියේ තුනට හතරට නැමෙන ඡන්ද දායකයා ලෙස කටයුතු කිරීමට ය.
මේ සියල්ල එකට සම්පින්ඩනය කර දක්වන්නේ නම් කිව හැක්කේ බලය ඉදිරියේ දණ්ඩ නමස්කාරය පෙර සිට පැවත එන සිරිතක් බව ත් බලය ඇත්තේ ජේෂ්ඨයාට ගුරුවරයාට චීවරධාරීයාට රජුට හා පිරිමියාට බවත් ඒ වෙනුවෙන් සමාජයක්ම පෙනී සිටින බවත් ය.
ඊළඟ සිරිත තමන්ගේකම ය.අපේ කම ය.තමන්ගේ එකා මොන වැරැද්දක් කළත් එය නුදුටු ලෙස සිටිමේ මේ සිරිත,ඒවා වැරදි ලෙස පිළිනොගැනීමේ මේ සිරිත, එන්නේ ඒ විදිහට ය.
එයා අපේ ගමේ. අපි එයාට විරුද්ධ වෙන්නෙ නෑ කියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශ්වාස භංග යෝජනාව ගැන තම මතය කියන විට කට පුරා මේ අඟවන්නේ අපේකම නැමැති ඒ පුරාණ සිරිත ගැන ය. උදාහරණයකට මහින්ද රාජපක්ෂ ගත්තත් අප සියල්ලන් අඩු වැඩි වශයෙන් සිටින්නේ මේ බෝට්ටුවේ ය.අපේ එකාගේ වැරදි,වැරදි හැටියට නොදකින මේ බෝට්ටුවේ ය.
ඒ අපේකම ඇතුළේ සිදුවන අනෙත් දෙය නම් සුදුසුකම් නැතත් අපේ එකා ඉහළට ගැනීමේ ඉහළින් තැබිමේ වුවමනාව ය.හොඳින් නැත්නම් නරකින් ඉස්සරහ දොරින් නැත්නම් පස්සා දොරින් රිංගවා ඉහළට තැබීමේ වුවමනාව ය.සාමාන්‍ය තැනක වාඩි නොකරවා විශේෂ තැනක අසුන් පනවා විභාගවලට උත්තර ලියන්නට පහසුකම් සලසා දෙන්නේ ඒ අනුව ය.
එහෙම නොකරන එකා කරන්නේ තමන්ගේ පරපුර පවා දීමකි.ඕකාට දැන් ගම මතක නෑ.ගමේ එකාට දෙන්නෙ නැතිව පිට එකෙකුට දුන්නෙ ඒකනෙ. තමන්ගේ ඉඩමක් පිට විකුණුවාම ගමේ උන් කියන්නේ එහෙම ය. මූ අම්ම අප්පත් විකුණයි මේ විදිහට කියා තවත් යාදින්නක් ද එහෙම වෙලාවට එකතු වන්නේ ය. අපේ කම රැක ගන්න අඩු මුදලකට ගමේ එකා ට දිය යුතු ය. අපේකම රැක ගන්නට අප මිලදි ගත යුත්තේ කළු කඩයක් කරන අපේ එකාගෙන් ය.
අපේ කම පවුලෙන් එහාට ගමෙන් එහාට දිව යයි. එවිට කුලකය වන්නේ කුලය විය හැකි ය. කුලයෙන් පිට විවාහ වන අයට කුලය තුළ සැළකිල්ලක් ලැබෙන්නේ නැත. සමහර විට දෙමාපියන් ද අහිමි වීමට තරම් එය ප්‍රබල ය. මගේ මරණෙට වත් උඹ ආවේ නැතුවට කමක් නෑ කියන සුන්දර වචන අහගන්නට සිදු වන්නේ එහෙම වෙලාවට ය.
එය ඇතැම් විට ජාතිය ද තම මායිම කර ගනී. එතකොට සැළකිය යුත්තේ ජාතියට ය. ඇතැම් විට එය රට එල්ලය කර ගනී. එවිට සැළකිය යුත්තේ රටට ය. ජාති ද්‍රෝහියෙකු දේශ ද්‍රෝහියෙකු පාවා දෙන්නෙකු ලෙස හංවඩු ලැබෙන්නේ එහෙම නොකිරීම නිසා ය. එහෙම නොකරන උන් ඩොලර් වලින් පඩි ලබනවා යැයි කියන්නේ ද ඒ නිසා ය.
තමන්ගේ කම නැතිනම් අපේ කම ඉදිරියේ හරි වැරැද්ද අදාළ නැත. තමන්ගේ එකා කළ වැඩය හරි ය. වැරදි වුනත් එය හරි ය. එහෙම වෙන්නේ කොහොම දැයි යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ. ඒ නිසා ම තමන්ගේ එකා කළ වැඩය වැරදි යැයි කියන විට අප බොහෝ දෙනෙකුට හිතෙන්නේ මේ ඉතින් කතාකරන්නේ ඩොලර් විය හැකි බව ය. ඒ මේ සිරිතෙන් පිට වෙන දෙයක් හිතා ගැනීමටවත් බැරි නිසා ය. අපේ හමුදාවේ එකෙක් වත් උතුරේ යුද්ධය පවතින කාලය තුළ එකම වැරැද්දක් වත් කළේ නැතැයි බලා සිටියා සේ සහතික දෙන අය ප්‍රදර්ශනය කරන්නේ ද මේ අපේ කම ය.
ඊළගට කළ යුත්තේ ඇඟිල්ලේ තරමට පමණක් ඉදිමීමට හිත හදා ගැනීම ය. කරන්නට තියෙන්නේ ඔහේ ඉන්නා එක ය. කවුරුවත් ඇහැව්වත් අප කියන්නේ “ඔන්න ඔහෙ ඉන්නවා” කියා ය. ඇත්තටම සිරිත ඒක ය. ඒ කිව්වේ වැඩි වැඩ ඕනෑම නැති බව ය. ඉන්නවා නැති ගාණට ඉන්නට හිත හදා ගත යුතු බව ය. වැඩි වැඩ බලය තියෙන අයට ය. සෙසු අයට තියෙන්නේ හැකි තාක් වකුටු වී තමන්ගේ වැඩක් බලා ගෙන ඉඳිමට ය. දෙන දෙයක් කාලා කියන දෙයක් කරගෙන ඉන්න එකට ය.වචනයේ අර්ථයෙන් ම කීකරුකමට ය.
මේ ගැන කියවෙන උපදේශ උපහැරණ බොහෝ ය. ගීත රචනා බොහෝ ය. කවි පබැඳුම් බොහෝ ය. පැදුරෙ ඉන්න අය බිමට වැටෙන්නේ නැත. බිම වැටෙන්න වෙන්නේ උඩ පැන්නොත් ය. පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමය මහ මන්දිරේ නැත. ඒ කියන්නේ පිදුරු සෙවිකළ පැල්පතක පැදුරක් මත බිම දිගා වි ගෙන මිසක නැගිට දැඟලිය නො යුතු බව ය. තමන්ගේ කුදු බව පසක් කළ යුතු බව ය.
මේ සිරිත් විරිත්වලින් කියන වැදගත් ම දෙය තරගය පිළිකෙව් කළ යුතු බව ය. එකිනෙකා පරයන්නට හදන කඳු නොවී පහළින් ගලන සුනිල් දිය දහරක් පමණක් විය යුතු බව ය. එසේ නොකරන අයට ඇස්වහ කටවහ වැදීමට ද නියමිත ය.
ගමට ලොරියක් ගෙනෙන මිනිසෙකුට ලොරිය පිටුපස “මේ උත්සහය රජ වන්නට නොවේ යැයි” කියන්නට වෙන්නේ මේ නිසා ය. මේ සිරිත තුළ කෙනෙකුට තනියම බුදු වන්නට වරම් නැත. බුදු වනවා නම් බුදු විය යුත්තේ පරපුර ම සමඟ ය. පරපුරක් තනියම එගොඩ කරවීම පහසු නැත. ඒ නිසා හොඳම දෙය තමනුත් පරපුර සමඟ අගාධය තුළ ම රැඳිම ය.
මේ සිරිත් විරිත් මෙහෙයවන අනෙත් වැදගත් ම කාරණය වන්නේ අවදානම් හැකිතාක් මග හැර ජිවත් විම ය. කුඩා කල ඉඳන්ම ළමුන්ට ලැබෙන අවවාද අතර අග්‍ර අවවාදය වන්නේ දඟ කරන්න එපා, දුවන්න එපා, නගින්න එපා, යන්න එපා, කරන්න එපා, එපා, එපා, මුකුත් ම එපා, දෙන දෙයක් කාලා ගොනා වගේ හිටපන් යන්න ය.ඒ අප දන්නා අන්දරේට ලැබුණු උපහැරණය අපට ද කුඩා කල දිනපතා ලැබුණ එකකි.
ඉතින් හූනෙක් චුක් චුක් ගෑවත් අප කරන්නට සිටි දෙයින් වළකිමු. ග්රහයෙක්රාශිය මාරු කළත් එහෙම ය. පූසෙක් දැක්කත් එහෙම ය. කාක්කෙක් කෑ ගැහැව්වත් එහෙම ය.
අපල කාලය රාහු කාලය වැනි අතෝරක් නැති කාරණා නිසා වැඩ නොකර ඉන්නට අපට අවසර ලැබෙන්නේ ය. කොහොමටත් අවදානම් දරන්නට අකමැති අපට මෙවැනි ඕනෑම නිමිත්තක් සමාවට කාරණයක් ම වන්නේ ය. ලොකු බලාපොරොත්තු කොහොමටත් නැති නිසා මේ නම් වෙස්වලා ගත් ආශිර්වාදයක් ම වී ඇත්තේ ය.
අප මෙතෙක් කතා කළ සියල්ල එකට ගත් කල දැන් අපගේ ජන විඥානය තුළ තිබෙන පින්තූරය පැහැදිලි කර ගත හැකි ය. අප කැමති අවදානම්වලින් මග හැර නිස්කලංක ජිවිතයකට ය. අල්පේච්ඡ ජිවිතයකට ය. වැඩි හැලහැප්පිම් නැති ජීවිතයකට ය. එහෙම ජීවිතයක් සඳහා අප එකිනෙකා සහයෝගයෙන් තියෙන දෙයක් බෙදා හදා ගෙන සිටිය යුතු ය.පිටින් එන තර්ජන මැඩපවත්වාගෙන ජිවත් විමට මේ සහයෝගයට අමතරව මේ සහයෝගය පවත්වාගෙන යා හැකි නායකයෙකු ද සිටිය යුතු ය.
අකීකරු පුත්‍රයන් දමනය කළ හැකි බලයක් සහිත රජුන් සඟුන් ගුරුවරුන්ගෙන් සමන්විත ඒ නායකත්වයට අපේ බුහුමන් ලැබිය යුතු ය. ඒ නායකයාගේ කැමැත්ත මත පමණක් සියල්ල සිදු වන බවට වග බලා ගත් විට අර්බුද ඇතිවන්නේ නැත. ඒ සෙව්ණ යට අපට අපේ මිනිසුන් බලා කියාගෙන පිට මිනිසුන් අතේ දුරින් තියාගෙන සිටිය හැකි ය.
බොහෝ දෙනෙකු සිතන විදිහට කරුමය නම් මේ සිරිත් විරිත් අතුරුදහන් වී යෑමට පටන් ගෙන තිබිම ය. බටහිරින් පැමිණෙන නොයෙකුත් විකාර මති මතාන්තර නිසා තරුණ සිත් මේ සිරිත් විරිත්වලින් බැහැරව යන්නට පටන් ගෙන තිබීම ය.ඒ නිසා දිවි පුදා හෝ මේ සිරිත් විරිත් රැක ගත යුතු බව කියති.
එහෙත් ඇත්ත නම් මේ සිරිත් විරිත් යල් පැන ගොස් තිබීම ය. මේවා රට ඉදිරියට නොව පසුපසට තල්ලු කරන ප්‍රධාන කාරණා වී තිබිම ය.
අප කැමති සිහින සිරිත් විරිත් මේ කියන සිරිත් විරිත්වලින් සපුරා වෙනස් ය. ඒ සිහිනයට අනුව ගරු බුහුමන් ලැබෙන්නේ දක්ෂයින්ට ය. ගුණ යහපත්කමට ය. ඔවුන් වයසින් අඩු වුව ද කුමන ජාතියකට කුලයකට ගමකට ප්‍රදේශයකට අයත් වුව ද කමක් නැත. ස්ත්‍රියෙකු පුරුෂයෙකු වුව ද කමක් නැත.
ගරු කිරීම දෙපැත්තට ම යන එකකි. ආචාර සමාචාර සමව සිදු වේ. ඒ තුළ බල පරතරය විද්‍යාමාන නොවේ.
බලය ඇති තැනැත්තාට ගරුත්වය හිමිවන්නේ ඒ බලය නිසි ලෙස භාවිතා කරන තාක් පමණකි. ඕනෑම බලවතෙකු ප්‍රශ්න කිරීමට යටත් වේ. ඒ තැනැත්තා සිවුරු ධාරියෙකු ද නැද්ද යන්න ද ඔහු ගෙදරක දි නම් පියා හෝ මව ද යන්න පාසලේදී හෝ පන්තියේ දී නම් ගුරුවරයෙකු ද නැද්ද යන්න ද අදාළ වන්නේ නැත.
තමන්ට වඩා දක්ෂ හා නැණ උගත් සිසුන්ට ද ගුරුවරුන්ගේ ගරුත්වය හිමි වේ.
අපේකම තව දුරටත් ගුණාංගයක් ලෙස සලකනු නොලැබේ. තනතුරු ප්රතිලාභ සුදුස්සන්නටම ලැබේ. ඒ නිසා ම රටේ තීරණාත්මක ස්ථානවල දක්ෂ ගුණවත් මිනිසුන් දක්නට ලැබේ.
වැරදි කරන මිනිසුන් තරාතිරම ජාතිය කුලය ආගම නොබලා දඬුවමට යටත් කෙරෙන අතර ඒ අය ආරක්ෂා කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ.
වඩා හොඳ තත්වයක් ඇති කිරීම සඳහා මිනිසුන් සහෝදරාත්මක තරගයක නිරත වෙනු හැම තැනකම දක්නට ලැබේ. ඒ තරගය ඉවසන ඒ තරගය මහත්මා සීමාවන් තුළ රඳවන සමාජයක් පවතී. ඒ නිසා ම නව දේ නව අදහස් නව ආයතන නව ව්‍යුහයන් නව ක්‍රමවේද බිහිවෙන අතර මිනිසුන් තුළ ඒ සඳහා අති විශාල පෙළඹීමක් ඇති ව තිබේ.
අවදානම් ගැනීම යහපත් ගුණාංගයක් ලෙස සලකනු ලැබේ. අසාර්ථක වීමට මිනිසුන් තවදුරටත් බිය නොවේ. ඒ තුළ ඉගෙන ගැනීමට මිනිසුන් කැමති ය.
අපල හෝ රාහු කාලයන් මිනිසුන් තවදුරටත් සලකන්නේ නැත. ග්‍රහලෝක හා තාරකා අනන්තයක් අතර අපට පෙනෙන ග්‍රහලෝක කීපයකට අපව පාලනය කළ හැකි යැයි මිනිසුන් තවදුරටත් විශ්වාස කරන්නේ නත. හූනන්ට හා කාක්කන්ට තවදුරටත් මිනිසුන් අකර්ණම්‍ය කිරීමට බලයක් නැත.සියලුම ඇදහිලි නැවතත් මිනිසුන් විසින් ප්‍රශ්න කරනු ලබන අතර ඒවා විද්‍යාත්මක විමසීමකට භාජනය කෙරේ.
යල් පැන ගිය සිරිත් විරිත් මිනිසුන් විසින් ඉවත් කරන්නේ සමාජයට අවශ්‍ය නව සිරිත් විරිත් වැළඳ ගැනීමෙන් අනතුරුව ය. ඒ නිසා ම වඩාත් ඉදිරියට යන රටක් බවට නිදහසේ ඉදිරියට යන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනු ඇත්තේ ය.
නිශාන්ත කමලදාස
දිනමිණ

