|

ඇඳෙන් බැහැල රැකියාවට –  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත .

 

මෑත දිනයක මට ඥාතියකු ගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන්නට සිදු විය. මංගල සභාවේ කටයුතු අතර මනමාලයාගේ පියා සහ මවගේ හදිසි කලබලයක් දුටු බැවින් මම විමසිලිමත් වුණෙමි. හේතුව ප්‍රදේශයේ දේශපාලනඥයකු උත්සවයට පැමිණීමය. දේශපාලනඥයා පිටුපස, රදළයකු පිටුපස පරිවාර ගමන් එන ප්‍රවේණි දාසයකු බඳුව දෙකට නැවෙමින්, ඇඹරෙමින්, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද එනවා පෙනිණ.

හිටපු ඇමැතිවරයකු වන මේ දේශපාලකයා දැන් රාජ්‍ය ඇමැතිවරයෙකි. පවුලේ ඥාතියකු හෝ විශේෂ හිතවතකු හෝ නොවන දේශපාලනඥයා උත්සවයට කැඳවන්නට හේතුව කෘත ගුණ දැක්වීමකි. කෙටියෙන් කියන්නේ නම්, අදාළ දේශපාලනඥයා මැදිහත්ව මනමාල මහතාට රජයේ ආයතනයක රැකියාවක් ලබා දී තිබේ.

ඉහත සඳහන් කළ පවුල අදාළ දේශපාලනඥයාගේ පාරම්පරික ඡන්දදායකයන් ය. එසේ වුව දරුවාට රැකියාව ලැබුණේ ඒ හිතවත්කමට පමණක් නොවේ. රුපියල් ලක්ෂ තුනක මුදලකට ය.

“ඡන්දයටත් දර දිය ඇදල , ඡන්දෙත් දීල , රස්සාවට යන්න සල්ලිත් දුන්නද ? ” කියා මා විමසූ විට මනමාලයාගේ පියා මට දුන් පිළිතුර , ” එහෙම හරි කර ගත්තු එක ලොකු දෙයක්නෙ ” යන්නය. දරුවා තරුණයකු වීම වාසනාවකි, තරුණියක හෝ කතක වූයේ නම් මුදලට අමතරව දේශපාලකයාට ශාරීරික අල්ලසක් ද දෙන්නට සිදුවන බව සැවොම දනිති.

මෑත රැකියා ලද කතුන් හඳුන්වන්න තරුණයන් කියන්නේ ”  ඇඳෙන් බැහැල වැඩට ගියා. ” යන්නය.

ලංකාවේ පොදු සමාජ විඥානය පිළිබඳ අදහසක් මේ ඔස්සේ අපට විවරණය කර ගන්නට පුළුවන. ඉහත කී පවුල පමණක් නොව සමස්ත සමාජයම සිතන ආකාරයයි ඒ.

“ජන්දෙ දුන්න මදිවට රස්සාවට යන්න සල්ලිත් දෙන්න ඕනද ?”

” ආණ්ඩුවෙන් පඩි ගෙවන රස්සාවක් ගන්න ඇඳට යන්න ඕනද ? ”

යනුවෙන් සිතනවා වෙනුවට සමාජය පුරුදු වී ඇත්තේ , එහෙම හරි කර ගත්තා නේද ? යනුවෙන් සිත සනසා ගන්නට ය.

මෙකී මානසිකත්වය නඩත්තු කරන්නට දේශපාලකයෝ හොඳින් වගබලා ගනිති. ඒ මානසික  තත්වය තමන්ගේ වාසියට යොදා ගනිති.

දේශපාලකයාගේ වගකීම වන්නේ කිසිවකු පස්සේ නොගොස් පෞද්ගලික අංශයේ හෝ රජයේ හෝ රැකියාවක් ලබා ගත හැකි තත්වයට රට සංවර්ධනය කිරීමය. රැකියා සුලබ කිරීමය. සංවර්ධනයට වෙන්කරන මුදල් ගසා කෑමට මිස රැකියා සුලබ කරන්නට හෝ සංවර්ධනයට මන්ත්‍රී, ඇමැතිවරුන්ගේ උනන්දුවක් නැත. මැති ඇමැතිවරු හැසිරෙන්නේ ආණ්ඩුවේ මුදල් සහ රාජ්‍ය ආයතන තමන්ගේ බූදලය මෙන් සලකමිනි.

” මම රස්සා දුන්න, මම පාර හැදුව, මම ලයිට් දුන්න, මම අරක කළා මේක කළා”; කියන්නට දේශපාලකයෝ පුරුදුව සිටිති. තමන්ගේ වියදමෙන් තමන්ගේ ධනයෙන් ඒ දේ කළා මෙනි. තමන්ගේ ආයතනවල රැකියා දුන්නා සේය.

සත්‍ය වශයෙන් සිදුව ඇත්තේ රජයෙන් වෙන් කරන මුදලිනුත් කොටසක් සාක්කුවේ දමාගෙන පාරක් පාලමක් ඉදිකිරීමය.  පොදු ජනතාවගේ බදු මුදල්වලින් වැටුප් ලබන්නට අවශ්‍ය තරමටත් වඩා සේවකයන් රාජ්‍ය ආයතනවලට පිරවීමය. මහින්ද රාජපක්ෂ සමයේ උපාධිධාරි පත්වීම් හොඳම නිදර්ශනයකි. සේවකයෝ සිටිති, පැවරුණු රාජකාරියක් නැත. එසේත් නැතිනම් පැවරෙන රාජකාරියෙන් රටට යහපතක් නැත. එවැනි සේවකයන් නිවෙස්වල තබා වැටුප් ගෙවන්නේ නම් රජයේ කාර්යාලවල විදුලි බිල් ජල බිල් හෝ අඩු වනවා ඇත. නමුත් ජනතාවට ඒ පිළිබඳ හැඟීමක් නැත. ” ගසා කෑවත් කමක් නැහැ, වැඩක් කරලනෙ ” ආදි අදහස්වල සිට ජනතාව කටයුතු කරන තුරු රටට යහපතක් වන්නට හැකියාවක් නැත. ඒ වෙනුවට ජනතාව කල්පනා කළ යුත්තේ, ගසා කන්නේ නැතුව හැදුව නම් පාර තව කිලෝ මීටරයක් වත් හදන්න තිබුණා කියා සිතන්නටය. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ, ජනප්‍රිය ගීතයක අනුකරණයක් ජනප්‍රිය වී තිබේ. එහි කියන්නේ :

” ණය ගෙවල, ගෙවල, ගෙවල, ගෙවල,

ඉවරයි මුළු රටම.

ලැට් පෝච්චියට ගල් කාලට,

කතිරය ගැහුවාම

උන් සැපේ ඉඳියි අපට තමයි

සැමදා කෙළවීම ”

යනුවෙනි

  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත .

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *