|

මානව සමාජයේ සුබවාදී අලුත් පාර මොකක්ද මේ පාරනූතනවාදය – මහාචාර්ය අජන්තා හපුආරච්චි

 

 

” කලාව, සංස්කෘතිය, දර්ශනය යළි ප්‍රධාන තලයකට පැමිණ ඇත. එය නව ලෝක ප්‍රවණතා අතරට එක්ව ඇත්තේ මානව සමාජ ප්‍රගමනයේ නියමුවන් වශයෙනි. ශ්‍රම වෙළෙදපොළ නිෂ්පාදන මාරුවකට පත්ව ඇත. කෘත්‍රිම බුද්ධිය හා තාක්ෂණික විපර්යාසය ඔස්සේ ඉහත දෑ කතිකාවකට ද බඳුන්ව ඇත.”

ශ්‍රී ලාංකික සමාජය කිසි දිනෙක ලෝකයේ පවතින දාර්ශනික, දේශපාලනික, සමාජ ගතිකත්වයන් ඒ ඒ කාලවලදී හඳුනා ගත්තේ නැත. ඒ රටවල් නව අදහස් කතා කොට පළ දරා ඒවා කල් ඉකුත් කළ පසු අපේ රට නවතාවයෙන් ඒවා බදා ගන්නා ස්වභාවය හැමදාමත් අපට තිබුණි. ඊට ප්‍රධාන හේතුව දේශපාලකයන්ගේ අප්‍රබුද්ධ කතා ජනමාධ්‍ය යේ ප්‍රමුඛත්වයට පත්වන අතර හරවත් කතිකාවක් ඒවා හරහා විකුණා ගත නොහැකි වූ බැවිණි. වත්මන් තරුණ පරපුර හා අධ්‍යාපනය හදාරණ දරුවන්ගේ විචාරශීලිත්වය හා තාර්කික බව ඉහත කරුණු හරහා විනාශ වන අවධියක ලෝකය අද පා තබා ඇත්තේ පාරනූතන තත්ත්වයකට බව වත්මනේ කතාබහ වී ඇත. එක් උදාහරණයකින් මෙසේ දක්වන්නේ ප්‍රතිපත්ති නිර්මාණකරුවන්ට අධ්‍යාපනය, ආර්ථිකය, දේශපාලනය හා සමාජ ජීවිතය යන කරුණු මැනැවින් හඳුනා ගත යුතුව ඇත්තේ අනාගතයට සුදුසු දේ සොයා යා යුතු බැවිණි.

මෑතකදී මට හමු වූ එක් තරුණ දරුවකුගෙන් මා ඇසුවේ රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ ආගම් විරෝධී කතාවක් කළ කාන්තාව ගැන ඔහුගේ අදහස කුමක්ද යනුවෙනි. ඔහුගේ පිළිතුර වැඩිහිටිවියේ පසුවන මට ද ඇති කළේ අපූරු හැඟීමකි. ඔහුගේ පිළිතුර වූයේ,

මානසික රෝගය

“ඔය කියන කාන්තාවට ඇති මානසික රෝගයක් නැත. ඒක වුණේ මෙහෙමයි, ඔය වැඩිහිටියෝ කල්ලියක් උජාරුවෙන් මේ කාන්තාව කට මැත දෙඩීමේදී කිසිදු දැන උගත් කමක් නැතිව ඔවුන්ගේ හුරේ පාරට අල්ලාගත හැකි බව දැනගෙන මහ ලොකුවට දේශන දෙන්න ඇති. ඒ ආතල් එකෙන් මෙයාට සමාජයෙන් නැති පිළිගැනීමක් තියෙනවා කියලා හිතාගෙන, කියන්නෙ මොනවාද කියලාවත් නොහිත මිනිස්සු කතා නොකරන පැත්තක් කතා කරනවා කියලා හිතාගෙන ආගම් විරෝධී අදහස් කිව්වයි කියමුකො. ඒක නොවෙයි, අපිට දැනෙන්නෙ, දැන් වැඩේ වැරදුණාම තමයි එයාට ඇඟට ඒක දැනුණේ අර කූඩුවෙ ඉන්න වුණාම. එතැනදී දැන් කරන්න තියෙන එකම දේ තමයි, එයාගේ නීතිඥ මහතාගේ හිතවත් මනෝ වෛද්‍යවරයකුගෙන් මෙයාට මානසික රෝගයක් තියෙනවා කාලෙක ඉඳන් බෙහෙත් ගන්නවා කියලා ලියලා දුන්නම කවුද ඕක ඇත්තක්ම ද කියලා හොයන්නෙ ? ඒක සිදුවෙන්න ඇත්තේ ඔන්න ඔය විදිහට කියලයි මම නම් හිතන්නෙ”

මේ කතාව මෙසේ දක්වන්නට හේතුව වත්මන් ශ්‍රී ලාංකේය රට වැසියන් සිදුවීම් හා නීතිය පිළිබඳව දක්වන විශ්වාසය හා රටේ පවත්නා තත්ත්වය හඳුනා ගැනීමටය. පරමාදර්ශ නොමැතිවීම, දෘෂ්ටිවාද බිඳ දැමීම, පශ්චාත් නව්‍යවාදයෙන් ඉතිරි කළ ඉවත ලන දෑ අප සමාජය වැලඳ ගැනීමේ ආදීනව, මේ තාරුණ්‍යයෙන් පැහැදිලි වේ. මේ සියල්ල සිදු වන්නේ සමාජ පරිණාමයත් සමඟය යන්න කිසි විටෙක කතා කෙරෙන්නේ ද නැත. රටේ විවිධ නව වෙනස්කම් පද්ධති වෙනස්කම් ලෙස දේශපාලන කරළියේ තිබුණ ද ලෝකය අද පාරනූතනත්වයකට පත්ව ඇති බව විවිධ පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

පාරනූතනත්වය

නූතනත්වයේදී විද්‍යාත්මක සොයා ගැනීම් හා තර්ක ශාස්ත්‍රය, විද්‍යාව, ජ්‍යාමිතිය ප්‍රබල තැනෙක තිබුණ ද පශ්චාත් නූතන තත්ත්වයේදී ඒවා විශාල වශයෙන් ප්‍රහාරයන්ට ලක්විය. 1960න් පසුව ඇති වූ ඒ තත්ත්වයත් 17-18 සියවස්වල පැවැති නූතනත්වයත් අතර පාලම වන පාරනූතනත්වය Meta Modernism පිළිබඳ පළමු කතා බහ 1975 දී ඇති වූ අතර එය වත්මන හා බැඳෙන ලෙස කතා බහට ලක් වන්නේ 2010 දී ලන්දේසි ජාතික කලාකරුවන් හා සිනමාකරුවන්ගේ නව පිබිදීමත් සමඟය. නමුත්, මේ වචනයේ මූලාරම්භය 1925 දී Zavarzade නමැත්තකු මුලින්ම හඳුන්වා දුන් බව සඳහන් වේ.

2010 දී පාරනූතනත්වයේ කතා බහ ඇති වූ අතර එහි ප්‍රතිඵල අදට ක්‍රියාත්මක වෙමින් පවතී. සංස්කෘතිය පිළිබඳ න්‍යායාචාර්යවරුන් වන Tinotheusvermealen and Robin Van den Akka යන්නවුන් පාරනූතන්වයේ හරයන් හා නූතනත්වය, පශ්චාත්නූතනත්වය විසින් ගෙන ආ කතිකාවන් යළි ලෝක ජනතාව අතර ආරම්භ වී ඇති බව මෙසේ පෙන්වා දේ.

වඩාත් වැදගත් හා ජනතාවාදී වන මේ පුවත් අතර මහා ආඛ්‍යානවල අවසානයක් සිදු වූ බව (end of grand narratives ) පශ්චාත් නූතනවාදයේදී කියවුණ ද අද වන විට පාර නූතනත්වය පෙන්වා දෙන්නේ grand narratives universally true මහා ආඛ්‍යානවල විශ්ව සත්‍යයක් ඇති බවය. එසේම පුද්ගලවාදය ඉස්මතුව පශ්චාත්නූතනත්වය පරයා වත්මන් ලෝකය සාමුහික ඒකාබද්ධතාවය integrated pluralism හා සෞන්දර්යාත්මකභාවය, aesthetics ආචාරධර්ම ethics යන කරුණු වෙත වත්මන් ලෝක සමාජයේ අවධානය යළි යොමු වී ඇති බව පෙන්වා දෙන්නේ ඉහත දැක්වූ න්‍යායාචාර්යවරුන්ය.

තාක්ෂණික තලය

නූතනවාදීන් විසින් නව විද්‍යාත්මක සොයා ගැනීම් නිසා බැහැර කළ ආගමික විශ්වාස නවතාවයකින් බුද්ධිමය තලයකට ගෙන ඇත.

මෙයින් අදහස් කරන්නේ කලාව, සංස්කෘතිය, දර්ශනය යළි ප්‍රධාන තලයකට පැමිණ ඇති අතර ඒවා නව ලෝක ප්‍රවණතා අතර මානව සමාජ ප්‍රගමනයේ නියමුවන් වශයෙනි. එනම්, ශ්‍රම වෙළෙදපොළ නිෂ්පාදන මාරුවකට පත්ව මෙන්ම කෘත්‍රිම බුද්ධිය හා තාක්ෂණික විපර්යාසය ඔස්සේ ඉහත දෑ කතිකාවකට ලක්වී තිබීම වැදගත්ය. පාරනූතනත්වය කතා කරන්නේ එම තාක්ෂණික තලයේ සිටය.

ඩැනියෙල් ගෝස්ට්ස් Daniel Gortz ප්‍රාඥයා පසු කාර්මික යුගයත්, අංකිත ගමනකට තල්ලු වීමත් සමඟ තවත් කාරණා කීපයක් පාරනූතනත්වය විසින් මතු කර ඇති බව මෙසේ තවදුරටත් විස්තර කරයි. ජීවිත දැක්ම සඳහා යළි දාර්ශනික දෘෂ්ටිය යොදා ගැනීම, මෙන්ම සංස්කෘතිය ඉස්මතු වී ඇති සේම, මෙය මානව සමාජයේ නව දියුණු අවස්ථාවක් බවත්, මිනිසාගේ පෞද්ගලික දියුණුවක ඇති වන බවත්, ඊටත් වඩා සමාජ දේශපාලනික කතිකාවේ වෙනස්ම තත්ත්වයක ඇති වී තිබෙන ආකාරය මෙසේ දක්වයි.

නව තත්ත්වය විද්‍යාත්මක හා මානවීයතාවයේ එකමුතු අවස්ථාවක් ලෙස හඳුන්වන අතර දේශපාලනයේ අනාගතය දැනටම සිදු වන්නේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂ දේශපාලනය, ධනවාදය යන ඒවා ප්‍රශ්න කරමිනි. පක්ෂ දේශපාලනයේ නව විචාරයක් ඇති වී සේම මානවයාගේ පෞද්ගලික දියුණුව සාමුහිකත්වය මනෝ විද්‍යාත්මක පිබිදීම අප නොදැනුවත්වම වෙනස් වන්නේ පාර නූතනත්වයේ ප්‍රතිඵල වශයෙනි. සමාජ විද්‍යාත්මක පක්ෂය ඉස්මතුව ඇති අතර දෘෂ්ථිවාදයේ වර්ධනයක් සිදුවෙමින් පවතී. අප ප්‍රතිපත්ති සකස් කිරීමේදී, අධ්‍යාපනයේදී තාක්ෂණික පක්ෂයට මූලිකත්වයත් ඉබාගාතේ යන හඳුන්වාදීමත් සිදු කළ ද ලෝකය යළි ආචාර ධර්මීය තැනකට පත්වෙමින් තිබෙන නිසා හා කලාව සංස්කෘතිය කරළියට පැමිණ ඇති ලෝක ප්‍රවණතා ඔස්සේ මධ්‍යස්ථ හා වර්ධිත සමාජවල නූතන කතිකා සමාජගත කළ යුතුව ඇත. පශ්චාත් නූතනත්වය විසින් ප්‍රධාන මාතෘකාවක් ලෙස සියල්ල සඳහා බලපාන මාධ්‍ය මූලික මානව විකිණීම විචාරයකට පත්ව තාර්කික හා දාර්ශනික තලයක තබා මේවා කතා කෙරේ.

අප විශේෂයෙන් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ තාක්ෂණ මූලික තැනකට ලඝු කළ ද ලෝකය යළි සිනමාව, කලාව, සංස්කෘතිය අතීතයේ තිබූ තැනටත් වඩා ඉහළින් තබා ඇත. සංස්කෘතියට පටහැණි ව බිහි වූ මානව සමාජය ආපසු ගමනකට හැරී ඇත. තාක්ෂණයට වඩා විද්‍යාත්මක හා මානවීයතාවයේ එකමුතුවක් පාරනූතනත්වය විසින් මතු කරමින් තිබේ. කිසිවකුට පාලනය කළ නොහැකි වූ මානව ගමනේ මානවයාට දර්ශනයට විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක ඇරඹුම පාරනූතනවාදය විසින් හඳුන්වා දෙන්නේ ලෝක මානව සමාජයේ සිදු වෙමින් පවතින පරිණාමීය ලක්ෂණයක් ලෙසිනි. ගෝලීයකරණය වෙනුවට ලෝක යුගය Globle Age ලෙස හඳුන්වන්නට ද ආරම්භ කර ඇත. මේ තත්ත්වය කොවිඩ් වසංගතයටත් පෙර පටන් පැවැති අතර වෙනත් රටවල විශ්වවිද්‍යාල මට්ටමෙන් සාකච්ජාවට බඳුන් වී සන්නිවේදන විෂයේ එක් කොටසක් ලෙස ද හැදෑරේ. විවිධ වකවානුවල සිදු වන සමාජ පරිණාමීය ලක්ෂණ ආපසු අතීතයට ගමන් කරන අතර ඒවා අතීතයට වඩා ප්‍රබලව මතුවීමට කදිම උදාහරණය පාරනූතනත්වයයි.

ලෝක යුගය

නූතනත්වය විසින් ඇති කළ පුනරුදයේ නව පුනරුදයක් හා 18 සියවසේ තිබූ විද්‍යාත්මක හා බුද්ධි ප්‍රබෝධය ප්‍රගතිය තාක්ෂණය හා බද්ධව ඊට දෙගුණ තෙගුණ වී මතුවෙමින් පවතී. පශ්චාත් නූතනත්වය විසින් බිහි කළ වර්තමානයේ පමණක් ජීවත් වූ අධි පරිභෝජනවාදී මිනිසා වෙනුවට නව ලෝක යුගයට උචිත නව මිනිසකු බිහිවෙමින් පැවැතීම සතුටට කරුණකි. නමුත්, මේ කතිකාවන් අප සමාජ ගත කරන්නේ තවත් දශකයකට පමණ පසුව නම්, එහි නියම ඵල අපට ලබා ගත නොහේ. මේ තත්ත්වය සමාජගත කිරීමේදී මාධ්‍යයට හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී සලකා බැලිය යුතුම යුතුකමකි.

මානව පරිණාමයේ මහා විප්ලවයක් ලෙස තාක්ෂණික මිනිසා පිළිබඳව 2000 වර්ෂයේ පටන් කතා කළත් මේ තත්ත්වය ලෝක දේශපාලනයේ යටිපෙළ සමග කතාබහ වන බව බොහෝ දෙනාට

අමතකව ගොස් ඇති කරුණකි. මේ සෑම වෙනසක්ම මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති ලෙස වාර්තා වුව ඊට වඩා බුද්ධිමය කියැවීමක් සෑම රටකම වියත් හා පර්යේෂකයන් අතර පවතී. අප රටේ පර්යේෂණ විශ්වවිද්‍යාලවල උපාධි පූරණය කිරීමකට පමණක් සීමා වුව, වෙනත් රටවල පර්යේෂණ සිදු වන්නේ අන්තර් ලෝක පර්යේෂණ ලෙසය. ඉහත දැක්වූ පාරනූතනත්වය කොවිඩ් වසංගතයෙන් මානවවාදය පෙරට පැමිණීමේ පූර්වාදර්ශය පාරනූතන කතිකාවයි. ඒ වන විට 1970 දශකයේ පටන් මේ පිළිබඳ කතා කළ ද අප මේ තත්ත්වය හඳුන්වා දුන්නද මේ රටේ දේශපාලන වෙනසේ පූර්වාදර්ශය ද මේ පාරනූතනත්වය බව දන්නේ අතළොස්සක් පමණි. ලෝක යුගයේ පක්ෂ දේශපාලනයේ පැහැදිලි වෙනසක් මීළඟ මැතිවරණයේදී දැක ගත හැකිය. එය තවමත් මෙරට බුද්ධිමත් ජනතාව අතර පවා කතිකාවකට පත් නුවූවකි. 17-18 සියවස් යනු ලෝකයේ වර්තමානයේ පදනම වන අතර පාරනූතනත්වය යනු ඒ පදනම මත ගොඩනැඟෙමින් පවතින නව ලෝක ගොඩනැඟිල්ලේ ආරම්භයයි. ලෝකය වඩාත් සුබවාදී දාර්ශනික, තාර්කික, විචාරාත්මක අනාගත පරපුරක පෙර සුබ නිමිති පාරනූතනත්වය හෙවත් පාරනූතනවාදය විසින් සපුරනු ඇත.

–කොළඹ විශ්වවිද්‍යාලයේ, ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති

මහාචාර්ය අජන්තා හපුආරච්චි

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *