පාස්කු ප්‍රහාර මානව හිමිකම් නඩු තීන්දුවේ අර්ථය – මහාචාර් ය රොහාන් සමරජීව

 

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ග/ අක්‍රියබව හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් පවරන ලද පැමිණිලි 12 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳව නීතීඥ හෙජාස් හිස්බුල්ලාගේ ට්විටර් පණිවුඩය මගින් කරුණු දෙකක් ඉදිරිපත් කරනු ලැබේ. එනම්,

පාස්කු ප්‍රහාර මානව හිමිකම් නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කෘතඥ වෙමි. උසාවිය ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථීර ලෙස කටයුතු කර ඇති අතර විනයකින් යුතුව ප්‍රකාශ සිදුකර ඇත.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධ තවත් දෙයක් තිබේ. සත්‍යය දැන ගැනීමට සහ සැබෑ මහ මොළකරුගේ වෙස්මුහුණු ගැලවීමට හැකි වනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකමක් හෝ භාෂා අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බව හෝ විධායක හෝ පරිපාලනමය ක්‍රියාමාර්ගයක් මගින් උල්ලංඝනය වීමට ආසන්න බව හෝ විශ්වාස කරන ඕනෑම පුද්ගලයකුට ඒ වෙනුවෙන් සහන හෝ වන්දි ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

මෙම සුවිශේෂී පිළියම තනිකරම විධායක හෝ පරිපාලන ක්‍රියාමාර්ගයක් වන අතර එය සමූහ මිනීමැරුම් සැලසුම් කිරීමේ වගකීම සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීම වෙනුවට ආදේශකයක් නොවේ. බොහෝ අදහස් දක්වන්නන් මෙන් නොව, හිස්බුල්ලා මානව හිමිකම් නඩුවක සන්දර්භය තුළ කළ හැකි දේ සහ සාමාන්‍ය විමර්ශන ක්‍රියා පටිපාටි සහ අපරාධ නීතිය භාවිතයෙන් කළ හැකි දේ අතර වෙනස හඳුනා ගනී.

ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා කිරීමට අසමත් වීම

හිටපු ජනාධිපතිනි කුමාරතුංගගේ ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් ශ්‍රීලනිප මහලේකම්වරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති සිරිසේන වගකිව යුතු නම්, තමන් ජනාධිපතිව සිටියදී සිදුවූ සියලු බෝම්බ ප්‍රහාරවලට ජනාධිපති කුමාරතුංග ද වගකිව යුතු බවයි. මෙය නීතිඥයෙකු සහ නීති සම්පාදකයෙකු ලෙස අසාමාන්‍ය අන්දමින් නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමකි.

ප්‍රශ්නය බෝම්බ ප්‍රහාරය නොවේ. බෝම්බ පුපුරවා හැරීමට අවස්ථාව ලබා දුන් විධායක/ පරිපාලන ක්‍රියාවන් හෝ අක්‍රියභාවයයි. ජනාධිපති කුමාරතුංග සැකකරුවන් පසුපස හඹාගිය විමර්ශකයින් අකර්මන්‍ය කළේ නැත. ඇය විශ්වසනීය අනතුරු ඇඟවීම් නොසලකා හැරියේ නැත. පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී මෙන් නොව ඇයගේ පාලනය පවතිද්දී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව ඇයට සහ/හෝ ඇයගේ නිලධාරීන්ට විශ්වසනීය සහ නිශ්චිත බුද්ධි තොරතුරු නොතිබුණි.

විනිශ්චයකාරවරුන් හත් දෙනෙකුගේ තීන්දුව රඳාපවතින්නේ තහවුරු කිරීමට අපහසු හේතු සම්බන්ධතා මත නොවේ. සහරාන් පිළිබඳ විමර්ශන කඩාකප්පල් කිරීම ගැන එහි සඳහනක් නැත. ආරක්‍ෂක අමාත්‍යවරයා වූ නිසාත්, ජනාධිපතිවරයා ලෙස පුරවැසි ආරක්‍ෂාව ඇතුළුව ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂා කිමේ වගකීම ජනාධිපතිවරයාට පැවරී තිබූ නිසාත්, අදාළ ඉතා වැදගත් බුද්ධි තොරතුරු කෙළින්ම ජනාධිපතිවරයා යටතේ තිබණු රාජ්‍ය බුද්ධි සේවය (SIS) සතුව තිබූ නිසාත් එහි වගකීම පැවරෙන්නේ ජනාධිපති සිරිසේන වෙත බව අධිකරණය විසින් තීන්දු කරන ලදි. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ ජනාධිපති සිරිසේන අතර ඍජු සන්නිවේදනයක් සහ වාර්තා කිරීමේ සම්බන්ධතාවක් නොමැති බවට එම දෙදෙනා විසින් කරන ලද ප්‍රකාශ අධිකරණය විසින් විභාග කර ප්‍රතික්ෂේප කරන ලදි. ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිසි ක්‍රියාකාරීත්වයට බාධාවක් වූ එවකට ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය එම තීන්දුවට දායක විය.

ලැබෙන බුද්ධි තොරතුරු ජනාධිපතිවරයා ඇතුළු විවිධ වගකිවයුතු බලධාරීන් වෙත ගලා යා යුතු ආකාරය අධිකරණයේ තීන්දුවෙන් පෙන්වා දෙන ලදි. එසේම, එම ක්‍රියාවලියේ අඩුපාඩුද පෙන්වා දෙන ලදි. බුද්ධි තොරතුරු ලැබුණු සහ නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූවන් (නිලධාරීන්) සහ තමන්ට බුද්ධි තොරතුරු ලැබුණේ නැතැයි කියන අය (ජනාධිපතිතුමා) වැරදිකරුවන් බව අධිකරණ තීන්දුවෙන් තහවුරු විය. විපතට පත් වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදු වූ හානියට පිළියම් යෙදීම සඳහා රුපියල් මිලියන 310 ක වන්දි මුදලක් ගෙවීමට නියෝග කරන ලදි. වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික අරමුදල්වලින් රුපියල් මිලියන 10 සිට මිලියන 100 දක්වා වන්දි ගෙවීම් සිදුකළ යුතුය. එම වන්දි ගෙවිය යුත්තේ රාජ්‍ය වන්දියට අමතරවය.

කැබිනට් මණ්ඩලයේ සහ අගමැතිවරයාගේ වගකීම

සමස්තයක් වශයෙන් ආණ්ඩුවේ මෙහෙයවීම සහ පාලනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ වගකීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වේ. ඒ පිළිබඳ තර්ක විභාග කිරීමෙන් පසු අධිකරණය පහත දැක්වෙන පරිදි නිගමනය කළේය.

කරුණු සහ තත්වයන් මගින් වෙනත් ආකාරයකින් ඔප්පු වන බැවින්, කැබිනට් මණ්ඩලයට වගකීමක් පැවරිය යුතු බවට උගත් ජනාධිපති නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්කයට අපි එකඟ නොවන්නෙමු. ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපතිවරයාට තිබෙන නිශ්චිත පැවරුම සහ අධීක්‍ෂණය හේතුවෙන්, ඉදිරියේදී එල්ල වන ප්‍රහාරයට අදාළව කැබිනට් මණ්ඩලයේ කිසිවකුට බුද්ධි තොරතුරු ලබා දුන් බවට මෙම අධිකරණය හමුවේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත්ව නොතිබියදී, කැබිනට් මණ්ඩලයේ කිසිම සාමාජිකයකු වෙත වගකීම් පැවරීමේ හැකියාවට එය බාධාවක් වේ. අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සමහර සාමාජිකයන් ඊර්ෂ්‍යා සහගත ලෙස බුද්ධි තොරතුරුවලින් ඈත් කර ඇති අතර, එම තත්ත්වයන් තුළ, වගඋත්තරකරුවන් ලෙස අප සලකන අය හා සමාන අන්දමින් ඔවුන් වෙත වගකීම පැවරීම අසාධාරණ ය.

මෙය හිස්බුල්ලා විසින් සඳහන් කරන ලද විනය පිළිබඳ සාක්ෂියකි. අදාළ බලධාරීන් වෙත බුද්ධි තොරතුරු ගලායාම මත පදනම්ව විධායකය/ පරිපාලනය වෙත ක්‍රියාකාරීත්වයේ හෝ අක්‍රියභාවයේ වගකීම පවරා තිබේ. එසේම,  බුද්ධි තොරතුරු සන්නිවේදනයේ අක්‍රියතාවන්ට තුඩු දුන් විධායකයේ ක්‍රියා සම්බන්ධයෙන් ද වගකීම පවරා තිබේ.  අධිකරණය එම තර්කයම කැබිනට් මණ්ඩලයට සහ අගමැතිවරයාට ද අදාළ කරයි.

එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2022 අගෝස්තු මාසයේදී ජනාධිපති වූ පසු ඔහුට විරුද්ධව කටයුතු කිරීමට අධිකරණය අවසර නොදුන් බව සත්‍යයකි. නමුත් අධිකරණය විසින් අනුගමනය කරන ලද තර්කය අනුව ඔහු දිගටම වගඋත්තරකරුවකුව සිටියද ඔහු වරදකරුවෙකු නොවනු ඇත.

දෝෂාරෝපණයේ රටාව

මෙය අසාමාන්‍ය ලෙස සංකීර්ණ නඩුවක් වූ අතර, පවුලේ සාමාජිකයන් අහිමි වීමෙන් සෘජුව පීඩාවට පත් වූවන්ගේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමය දක්වා පුළුල් පරාසයක පෙත්සම්කරුවන් විසින් ගොනුකරන ලද විවිධ පෙත්සම් 12ක් එයට ඇතුළත් විය. 2022 මාර්තු සහ ඔක්තෝම්බර් අතර දින 17ක් තුළ නඩු විභාගයන් සිදු වූ අතර එය තරමක් කැළඹිලිකාරී කාලයකි.

අදාළ පෙත්සම්කරුවන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දොස් පවරන්නේ කාටද යන්න වගඋත්තරකරුවන් නම් කරන ලද ආකාරයෙන් පෙන්නුම් කරනු ලැබේ. සියලු දෙනාම දෝෂාරෝපණය කරන්නේ වැරදිකරුවන් වූ නිලධාරීන්ටය. එහෙත් එවකට සිටි ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට දොස් පැවරීම සම්බන්ධයෙන් එවැනි එකඟතාවක් නොමැත. උදාහරණයක් ලෙස, 163/2019 සහ 166/2009 යන මුලින්ම ගොනු කරන ලද පෙත්සම් මගින්, වගඋත්තරකරුවන් ලෙස ලැයිස්තුගත කර තිබුණේ ආරක්ෂක ලේකම්වරයා, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ නීතිපතිවරයා පමණි. දේශපාලනඥයන් ඇතුළත් කර නොතිබිණි. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීවරයා පවා අත්හැර තිබිණි.

නීතීඥ සංගමය විසින් ගොනුකරන ලද 195/2019 පෙත්සමේ වගඋත්තරකරුවන් 90 කට අධික සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබුණු අතර, 2019 අප්‍රේල් මාසයේදී සිටි අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා නිලධාරීන් ඒ අතර වූහ. එයට එවකට සිටි ජනාධිපතිවරයා සහ එවකට ජනාධිපති ලේකම්වරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයාද ඇතුළත් වූහ.

188/2019 සහ 293/2019 ද විශේෂ උනන්දුවක් ඇති කරයි. ඔවුන් ලැයිස්තුගත කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මිස අමාත්‍ය ධූරය දරන ජනාධිපතිවරයා නොවේ. 293/2019 පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේ සාමාන්‍යයෙන් ජනාධිපති කාර්යාලය දැඩිව ආරක්ෂා කරන අයෙකු වන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාය.

අවම වශයෙන් ආඛ්‍යාන තුනක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. බුද්ධි අංශවල අකර්මන්‍යතාවයට සෘජුව වගකිව යුතු නිලධාරීන්ට පමණක් පළමු ආඛ්‍යානය යටතේ වරද පවරන ලදි (163 සහ 166 පෙත්සම්). නීතීඥ සංගමයේ පෙත්සමෙන් ඉදිරිපත් වන දෙවැන්න අනුව, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය මෙන්ම නිලධාරීන්ද ඇතුළත් වන පරිදි පුළුල්ම දැල එලන ලදි. තුන්වන ආඛ්‍යානය අනුව, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය සහ නිලධාරීන් කෙරෙහි අවධානය යොමු කරන ලද මුත් ජනාධිපතිවරයා ආරක්ෂා කරන ලදි.

ජනාධිපතිවරයා (සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස) බැහැර කිරීම සඳහා පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. ප්‍රතික්ෂේප කරන ලද තුන්වන ආඛ්‍යානය ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් සහ ඔවුන්ගේ නීතීඥයින් ජනාධිපති මුක්තිය පදනම් කරගෙන ඔවුන්ගේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පූර්වාරක්ෂාව සැලසුම් කරන්නට ඇත. එසේත් නැතිනම්, ජනාධිපතිවරයා ආරක්ෂා කර, ඔහු විසින් 2018දී නීති විරෝධී ලෙස ඉවත් කිරීමට උත්සාහ කරන ලද අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට දොස් පැවරීමට ඔවුන් අපේක්ෂා කළා විය හැකිය.

126(2) වගන්තියට අනුව, විධායක/පරිපාලන ක්‍රියාවක් හේතුවෙන් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කළ යුතු වන්නේ එම ක්‍රියාවෙන් මාසයක් ඇතුළත ය (ඇත්ත වශයෙන්, මාසයකට පසුව ද පෙත්සම් පිළිගනු ලැබේ). පොතේ හැටියට, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී 2019 මැයි 21 දිනට පෙර පෙත්සම් ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඔහුගේ නිල හා නොනිල ක්‍රියාවන් සම්බන්ධයෙන් සම්පූර්ණ දණ්ඩ මුක්තියක් තිබුණේ නම්, වගඋත්තරකරුවන්ගේ ලැයිස්තුවෙන් ඔහුව බැහැර කිරීම අර්ථවත් වනු ඇත. කෙසේ වෙතත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 35 වැනි ව්‍යවස්ථාවට කරන ලද වෙනස්කම් අනුව මෙසේ කියැවේ: “මෙම ඡේදයේ කිසිවක් මගින්, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල බලයෙන් සිදු කිරීමට නියමිත, සිදුකරන ලද හෝ සිදුනොකරන ලද ඕනෑම දෙයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව 126 වැනි වගන්තිය යටතේ අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට ඇති අයිතිය සීමා කිරීමක් තේරුම් නොගත යුතුය.”

ගෝඨාභය රාජපක්ෂ රජය 20 වැනි සංශෝධනය හරහා මෙම වගන්තිය ඉවත් කිරීමට උත්සාහ කළ නමුත් එවැනි සංශෝධනයක් සඳහා තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව මගින් එවකට සිටි ජනාධිපතිවරයා වැරදිකරුවෙකු කිරීමට අමතරව නිල ක්‍රියාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මුක්තිය පිළිබඳ ප්‍රශ්නය ද විසඳා ඇත. මූලික අයිතිවාසිකම් කඩ කළහොත්, කිසිම ජනාධිපතිවරයෙකුට දණ්ඩ මුක්තියක් නැත. සහනයක් හෝ වන්දි ලබා ගැනීමට ඔහු/ ඇය නිලය දැරීම අවසන් කරන තුරු බලා සිටීම අවශ්‍ය නොවේ. මෙය 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දී ඇති සංයුක්ත ප්‍රතිලාභයකි.

අධිකරණයට තවත් දේ කිරීමට හැකියාව තිබිණිද?

ඇතැම් විචාරකයන්ට අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමූහ ඝාතනයේ මහ මොළකරුවන් හෝ පහසුකම් සපයන්නන් හඳුනා ගැනීමයි. තවත් සමහරුන්ට අවශ්‍ය වන්නේ වැරදි කරන දේශපාලනඥයන් සහ නිලධාරීන් සිරගත කිරීමයි. එවැනි ඉල්ලීම් මගින් නීතිය පිළිබඳ නොදැනුවත්කම සහ සාමාන්‍ය බුද්ධිය නොසලකා හැරීම පෙන්නුම් කරනු ලැබේ.

අපරාධ මහ මොළකරුවන් හඳුනාගැනීමේ වගකීම විමර්ශන නිලධාරීන්ට අයත්ය. ඔවුන් යුක්තිය ඉදිරියට ගෙන ඒමේ කාර්යය රජයේ නඩු පවරන්නන්ට (නීතිපති දෙපාර්තමේන්තුවට) අයත් වේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන යටතේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු අතර, ඒ සඳහා මූලික අයිතිවාසිකම් නඩුවලදී භාවිතා කරන ක්‍රියා පටිපාටිය ආදේශ කළ නොහැක.

126 වගන්තිය යටතේ තිබෙන සහන සහ වන්දි ලබාගැනීමේ හැකියාව වැරදිකරුවන් යැයි ඔප්පු වූවන් සිරගත කිරීම දක්වා දීර්ඝ විය යුතුද? මූලික හිමිකම් නඩුවලදී ඔප්පු කිරීමේ භාරයෙහි ලිහිල් බව සැලකිල්ලට ගත් විට එවැනි දිගුවක් නුසුදුසු බව පෙනේ. සාපරාධී නොසැලකිලිමත් ක්‍රියාවන් සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 329 වගන්තිය යටතේය. දඬුවම උපරිම වශයෙන් වසර දෙකක සිර දඬුවමක්, රුපියල් 1,000ක දඩයක් හෝ ඒ දෙකම වේ.

සැලකිය යුතු වන්දි මුදලක් නොගෙවන්නේ නම් කුමක් සිදුවේද? අතීත මූලික අයිතිවාසිකම් නඩුවලදී පෞද්ගලික අරමුදල්වලින් වන්දි ගෙවීමට නිලධාරීන්ට නියෝග කර ඇතත්, එම මුදල කිසි විටෙකත් මෙතරම් ඉහළ මට්ටමක නොතිබුණි. සමහර වගඋත්තරකරුවන්ට එවැනි විශාල ගෙවීම් කිරීමට නොහැකි විය හැකිය. ඔවුන් නිදහස් නොකළ බංකොලොත් අය ලෙස අධිකරණය ප්‍රකාශ කරයිද? ඔවුන් සිරගත කරාවිද? එම කරුණු ඉදිරියේදී දැනගත හැකි වනු ඇත.

පෙර නොවූ විරූ අපරාධයකට ප්‍රතිචාරයක් වන මෙම තීරණය නව මාවතක් විවෘත කරයි. එනම්, දරන නිලතල හුදු ආභරණ නොවන බවත්, නිලධාරීන් තමන්ට නියමිත රාජකාරි ඉටු කළ යුතු බවත්, බලයේ සිටින සියලුම පුද්ගලයින්ට එය සන්නිවේදනය කරයි. එම නිසා, රාජකාරිය තම උපරිම හැකියාවෙන් ඉටු කිරීමට නිලතල දරන්නෝ බැඳී සිටිති.

ලිඛිත සාක්ෂි හරහා තම රාජකාරිය ඉටුකර ඇති බව සරල ලෙස පෙන්වාදීම තවදුරටත් නිදහසට කරුණු වන්නේ නැත. පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ පහසුකම් සැපයූවන් පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා නොකරමින් සිටින අයට ද මෙය අනතුරු ඇඟවීමකි. ඔවුන්ටත් තමන්ගේ ක්‍රියාවන් සහ ක්‍රියා නොකිරීම් ගැන වගකියන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවිය හැකිය.

මහාචාර් ය රොහාන් සමරජීව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *