එජාපයේ ගජමිතුරු ධනවාදය හා මහ බැංකු අධිපතිට එරෙහි චෝදනා – අජිත් පැරකුම් ජයසිංහ
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය තුළ හැමදාමත් දක්නට ලැබුණු දුර්ගුණයක් වන ගජමිතුරු ධනවාදය නැවත හිස ඔසවා ඇති බවට සාධක රැසක් තිබේ.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මතු වී තිබෙන විවේචන එහි ප්‍රධාන කොටසකි. ඔහු යටතේ 2015 මුල භාගයේ පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. ඒ පිළිබඳව විමර්ශනය කරන්නට පත් කළ කමිටු ආදිය කෙසේ වෙතත් ඒ ගැන එදා කතා කළ කිසිවෙක් එම පරීක්ෂණ පිළිබඳ විධිමත් අන්දමින් පසු විපරම් කරන බවක් දක්නට නො ලැබේ.
සැකයට තුඩු දුන් බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිවරයා සිය බෑණාගේ සමාගමට වාසි සිදු වන අන්දමින් කටයුතු කළ බවට බරපතල චෝදනාවක් එල්ල විය.
රටක මහ බැංකු අධිපතිවරයාට මෙවැනි විෂමාචාර චෝදනාවක් එල්ල වීම සිල්ලර වැඩක් නො වේ. එය මුල්‍ය අපරාධ චෝදනාවක් ද වේ. එසේම එය රටේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් කරන චෝදනාවකි.
එහිදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ මතය වී ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නීත්‍යානුකූලව සිදු වී ඇති බවයි. එසේ වුවත් මෙහි ආචාරධාර්මික ගැටලුවක් තිබේ. එය ප්‍රශ්න කිරීම සාධාරණ ය. මූලිකව ම ඇසිය යුතු ප්රශ්නය වන්නේ ලංකාවේ මහ බැංකුව භාර දෙන්නට භාණ්ඩාගාර බැඳුම්කර මිළ දී ගන්නා සමාගමක් සමග සමීප ඥාතිත්වයක් ඇති අයකු හැර වෙන කෙනෙකු ඇත්තේ ම නැද්ද යන්නයි.
ලංකාවේ ජනතාව ඉදිරියේ සිය අවංකභාවය පෙන්නුම් කිරීමට මෙරට දේශපාලකයන් හා රජයේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ අසමත් වී සිටිති. එවැනි සංදර්භයක් තුළ වතුර කොරහේ වුණත් කිඹුලන් දකින අසුබවාදිත්වයකට ජනතාව තල්ලු වීම ගැන ඔවුන්ට දොස් පැවරිය නො හැකි ය.
මේ අතර අලුත්ම ප්රවෘත්ති පවසන්නේ මහ බැංකු අධිපතිවරයා තමන්ට එරෙහිව ඇති චෝදනා සත්‍ය බවට ඒත්තු යන තවත් විෂමාචාර ක්‍රියාවක යෙදී ඇති බවයි. ඒ පිළිබඳ දූෂණ විරෝධී පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ.
විවාද සම්පන්න භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවට අදාළ සියළු පරිගණක දත්ත මකා දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ‘දුෂණ විරෝධී පෙරමුණ’ ට දැනගන්නට ලැබි ඇත.
මහ බැංකුවේ ඉහළම නිලධාරියෙකු මෙම දත්ත මකා දැමිම සඳහා සේවකයින් දෙදෙනෙකුට නියෝග ලබා දී ඇති නමුත් ඔවුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම ප්‍රතිකේෂ්ප කර ඇත.
විවාද සම්පන්න දෙවන බැදුම්කර නිකුතුවේ විස්තර දින 36 ක් යන තුරු ලබා ගැනීමට නොහැකි ලෙස පරිගණක පද්ධතියට අගුලු දමා තිබූණි. කෙසේ නමුත් මෙම තොරතුරු බොහෝමයක් මේ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතට පත් වී තිබේ. එයින් එක් වැදගත් තොරතුරක් වන්නේ බැදුම්කර නිකුතුට අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර (පෙ.ව. 10.50) ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාශයන් ට දැඩි හානි සිදුවන ආකාරයෙන් ලංසුවක් ඉදිරිපත් කිරීමය. රජයේ බැංකුවක් හරහා එම ලංසු තැබීම සිදු කොට ඇත.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් වැනි මහේක්ෂ ආර්ථික කාරණා පිළිබඳව ජනතාව දන්නේ නැත. ඒවා ගමේ සීට්ටු වෙන්දේසි වන ආකාරයට වන්නේ නැත. එහෙත්, මේ වනාහි මහජන මුදල් ය. මෙම චෝදනා සම්බන්ධ නිසි විමර්ශනයක් කිරීම ද වරදක් සිදු වී තිබේ නම් දණ්ඩනය හා වරද නිවරද කිරීම ද සිදු විය යුත්තේ එහෙයිනි. ආණ්ඩුව මෙහිදී කටයුතු කර ඇත්තේ මහජන විශ්වාසය තහවුරු වන ආකාරයෙන් නො වේ.
වගකිව යුතු දේශපාලන පක්ෂ කළ යුත්තේ කේලාම් කියන එක, කැලෑ පත්තර ගහන එක වැනි දේ නො වේ. වේ. එයින් සිදු වන්නේ දේශපාලනය තවත් හෑල්ලු වීම පමණි. එහෙයින් විමර්ශන හා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැන පසු විපරමක් කිරීමේ වගකීමක් විපක්ෂයට ද තිබේ.
මහ බැංකු අධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ නො කර ඔහු ඉවත් කළ යුතු ය යන අදහස ඇතැමෙක් ඉදිරිපත් කරති. එසේ ඉවත් කිරීම මහ බැංකුවේ විෂමාචාරයක් සිදු වී ඇති බව අනියමින් පිළි ගැනීමකි. එය ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වීමෙන් රටේ ආර්ථිකයට බලපෑමක් සිදු වුණත්, දැන් පවතින තත්වය තුළ යහපාලනයේ නාමයෙන් හෝ ඔහු ඉවත් කළ යුතුව තිබේ.

