පාදඩ යුගයක හොල්මන් – සී ජේ අමරතුංග

ආණ්ඩුවට අවශ්‍ය පරිපූරක මුදල් ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමට යාමේ දී පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම අර්බුදයක් බවට පත්ව ඇත. ඇස්තමේන්තුව රුපියල් මිලියන 550ක තරම් සුළු මුදලකි. එසේ වුවද එය සම්මත කිරීමට යාමේ දී ඇති වූ අර්බුදය බරපතළය. එයට හේතුව නම් ඡුන්ද ගණන් කිරීමේ වරදක් ගැන චෝදනාවක් මතුවීමයි. පාර්ලිමේන්තුවේ ලේකම්වරයාගේ ගණන් කිරීම අනුව ඡුන්ද 33ක්  පක්ෂව හා 31ක් විපක්ෂව ලැබී ඇස්තමේන්තුව සම්මත විය. එම ඡුන්ද ප‍්‍රතිඵලය නොපිළිගත් විපක්ෂය උද්ඝෝෂණය කරමින්  සී.සී.ටී.වී.  දර්ශන ඇසුරින් නැවත ගණන් කළ විට  ප‍්‍රතිඵළය 31ට 31ක් ලෙස සම වූ  බව කියති. දැන් මේ ගැන කතානායකතුමා පත්කළ කමිටුවකින්  සොයා බලන අතර මෙම ලිපිය ලියන  මොහොත වනතෙක් කමිටු තීන්දුව ලැබී නොතිබිණි. කුමන  තීන්දුවක් ලැබුණත් මෙම සිදුවීමෙන් අවුලක් නිර්මාණය වූ බව නම් නියතය.

එක්  ඇස්තමේන්තුවක් සාකච්ඡුාවට ගෙන තිබිය දී වෙනත් ඇස්තමේන්තුවක් මන්ත‍්‍රීවරුන් අතට පත්කර තිබීමෙන් මෙම අවුලට වෙනත් මානයක් ද එක්වී තිිබිණි. ඉතා සැලකිල්ලෙන් හා නිවැරැුදිව කටයුතු සිදුවිය යුතු පාර්ලිමේන්තුව වැනි ස්ථානයක මෙම සිදුවීම ද සුළුකොට සැලකිය නොහැකිය.

මෙහි බරපතළම කාරණය  නම් මෙම ඇස්තමේන්තුව සම්මත  කරන මොහොතේ එහි රැුඳී සිටියේ  පාර්ලිමේන්තුවේ සිටින 225ක් වන  මන්ත‍්‍රීවරුන් පිරිස අතරින් 63 දෙනකු පමණක් බව හෙළිවීමයි. 162ක් පාර්ලිමේන්තුවේ නොසිටියහ.  පාර්ලිමේන්තු ලේකම්ගේ මුල් ගණන් බැලීම නිවැරැුදි යයි සිතුවද අඩුතරමින් මන්ත‍්‍රීවරුන් 160ක් පාර්ලිමේන්තුවේ නොසිටියහ. මහජන නියෝජිතයන් තම ජනතා යුතුකමට කැපවී  සිටින්නේ එපමණකටය.

ආණ්ඩු පක්ෂයේ සිටින මැතිඇමැති සංඛ්‍යාව 91කි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී සංඛ්‍යාව පමණක් 106කි. ඒකාබද්ධ විපක්ෂය  ලෙස පෙනී සිටින කණ්ඩායම අත් හැරියද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයේ  මන්ත‍්‍රීවරු නැතහොත්  අමාත්‍යවරු වෙති. ඒ අතරින් එම තීරණාත්මක මොහොතේ පාර්ලිමේන්තුවේ රැුඳී සිටියේ තිස්එක් දෙනකු පමණය.

එදින විවාදයට පත් පරිපූරක ඇස්තමේන්තුව විවාදයකින් තොරව සම්මත කිරීමට පක්ෂ නායක සාකච්ඡුාවේ දී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකඟ වූ බවත් එසේ තිබිය දී අවසන් මොහොතේ ඡුන්දයක් ඉල්ලීමෙන් අවුලක් ඇති වූ බවත් පාර්ලිමේන්තුවේ නොසිටීමම නිදහසට කරුණක් ලෙස කියනු අසන්නට ලැබෙයි. එලෙස ඡුන්දයක් ඉල්ලීමේ සදාචාරය මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොසිටීමට එය නිදහසට කරුණක් නොවේ. මහජනයා මන්ත‍්‍රීවරුන් පර්ලිමේන්තු  යවන්නේ පනත් සම්මත කිරීමට හෝ නොකිරීමට ඡුන්දය දෙන්නට හා ඉඳහිට කතාවක් කරන්නටත් කෑකෝ ගසා ගුටිබැට හුවමාරු කර ගැනීමටත් නොවේ. පාර්ලිමේන්තු විවාදවලට සහභාගී වෙමින්  දැනුම්වත්ව නිීතිරීති සම්පාදනයටය. එසේ කිරීමට නම් හැම විටම පාර්ලිමේන්තුවේ රැුඳී සිටීම අවශ්‍යය. පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී නොවීමෙන් පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ එම කටයුතු ගැන ඇති නොසැලකිල්ලයි.

මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු රැුස්වීම්වලට සහභාගී නොවීම පිළිබඳව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද මේ ආණ්ඩුව පිහිට වූ අවස්ථාව්දීම දැඩි අවවාදයක් කළ බව අපට මතකය. ඒ මහතා කීවේ පාර්ලිමේන්තු රැුස්වීමට පැමිණිය නොහැකි අය පාර්ලිමේන්තුවට පත් නොවිය යුතු බවයි. එවැනි අය සිටිය යුත්තේ පළාත් සභාවල හා ප‍්‍රාදේශීය සභාවල බව ද ඒ මහතා කීය. දැන් සිදුව තිබෙන්නේ අගමැතිතුමාගේ එම අවවාදය ද නොතකා මන්ත‍්‍රීවරුන්  පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවී සිටීමයි.

මෙම තත්ත්වයට එක හේතුවක් වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේත් එහි මැති ඇමැතිවරුන්ගේත් කාර්යභාරය පිළිබඳ ආකල්පයේ ඇතිවී තිබෙන වෙනසයි. පාර්ලිමේන්තුව තිබෙන්නේ රට පාලනය කරන්නටය. එයට කිියන්නේ ව්‍යවස්ථාදායකය කියාය. එහි කාර්යභාරය වන්නේ රට පාලනය කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම හා මුදල් පාලනය ආදියයි. මන්ත‍්‍රීවරුන්ගේ හා ඇමැතිවරුන්ගේ ඇත්ත කාර්ය භාරයවිය යුත්තේ මෙම කටයුතු නියමාකාරයෙන් සිදු කිරීමටයි.

අපේ රටේ පවතින ක‍්‍රමය අනුව විධායකයේ  කොටසක් වන ඇමැති මණ්ඩලය හා අගමැතිතුමා පත්වන්නේ ද  පාර්ලිමේන්තුවෙනි. එවිට එම පිරිසට විධායක කාර්යයක් ද පැවරෙයි. තමන් යටතේ පවතින ආයතන කාර්යක්ෂම ලෙස පාලනය කරමින් උපරිම මහජන සේවය සැලසීම එම කාර්යභාරයයි. ඒ ගැන ද දැන් වර්ධනය වී තිබෙන්නේ වෙනස් ආකල්පයකි.

කාලෙකට පෙර හොඳ මන්ත‍්‍රීවරයෙක් ලෙස සලකනු ලැබුවේ පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගී වෙමින් හරවත් ලෙස කරුණු ඉදිරිපත් කරන උදවියයි. හොඳ ඇමැතිවරුන් යැයි කීවේ තමන් යටතේ තිබෙන ආයතන කාර්යක්ෂම ලෙස කළමනාකරණය කළ අයයි. එකල මැති ඇමැතිවරුන් උත්සාහ කළේ තමන්ට පැවරි තිබූ එම කටයුතු හොඳින් ඉටු කරන්නටය.

දැන් අප කල්පනා කළ යුතු වන්නේ මෙම ආකල්පවලට මේ  වනවිට සිදුවී තිබෙන විපතයි. දැන් මන්ත‍්‍රීකම් ඇමැතිකම් ලබන්නට විශාල ආයෝජනයක් කර යුතුව ඇත. ඒ මැතිවරණ සඳහා වියදම් කරන අතිවිශාල මුදල් කන්දරාවයි. ඡුන්දය දිනා ගන්නේ විශාල ලෙස මුදල් වියදම් කරමිනි. දන්සල් දෙමින්, මත්පැන් බොන්න දෙමින් හා බඩු භාණ්ඩ ද බෙදා දෙමිනි. එනම් තම  අනුගාමිකයන්ට හා මහජනයාට අල්ලස් ලබා දෙමිනි. පාර්ලිමේන්තුවේ සියලූම මැති ඇමතිවරුන්ට මෙය අදාළ නොවෙනවා විය හැකි වුවත් බහුතරයකගේ තත්ත්වය එයයි. කොළඹ දිස්ත‍්‍රික්කයට  තරගකොට පරාජය වූ අපේක්ෂකයකු  පසුගිය දා ප‍්‍රකාශකොට තිබුණේ. තමන්ගේ වියදම ලක්ෂ පන්සියයක් බවයි. පැරදුණු අපේක්ෂකයකුගේ වියදම එය නම් දිනු අපේක්ෂකයන්ගේ විශාල වියදම සිතාගත යුතුව ඇත.

මෙලෙස විශාල ආයෝජනයක් කොට මැතිඇමැතිකම් ලබා ගන්නා උදවිය ඊළඟට කල්පනා කරන්නේ එයට හරියන්නට මුදල්  උපයන ආකාරය ගැනය. නැතහොත් වරප‍්‍රසාද ලබා ගන්නා අකාරය ගැනයි. දැන් කාලයේ මැති ඇමැතිවරුන්ගේ චින්තනය සකස් වෙන්නේ එහෙමය.

මන්ත‍්‍රීවරුන්ට බදු රහිත වාහන බලපත් දෙන්නේ විකුණාගෙන ඡුන්දයට ගිය වියදම සොයා ගන්නටය. ඉස්සර හොරෙන් වූ මේ වැඬේ දැන් කෙරන්නේ එළිපිටය. මන්ත‍්‍රී දීමනාවට අමතරව ඉන්ධන දීමනා ගෙවල්කුලී පමණක් නොව පාර්ලිමේන්තු එනවාටත් වෙනම ගෙවීමක්  කරන්නේ ඒ නිසාය.  මොකක්  හෝ කමිටුවකට වාඩි වෙන්න නම් එයට ද වෙනම ගෙවීමක් කළ යුතුය. මේ සියල්ල කරන්නේ  මහජන මුදලින් බව මොවුන් සිතන්නේ නැත. ඔවුන්ට මේවා තමන් කළ ආයෝජනයට ලැබෙන ප‍්‍රතිලාභය.

සාමාන්‍ය වශයෙන් පාර්ලිමේන්තුව මසකට රැුස් වෙන්නේ දින අටකි. ඒ රැුස්වීමට එනවාට මන්ත‍්‍රීවරුන්ට අමතර දීමනාවක් ලැබෙයි. හරියට රැුස්වීමට පැමිණීම මන්ත‍්‍රී ධුරයේ කාර්යයන් නොවනවා වගේය. එසේ ගෙවීම් කරලාත් මන්ත‍්‍රීවරුන් ගෙන්නා ගන්න බැරිය. බොහෝ දෙනා කරන්නේ දීමනාව ගන්න විනාඩි කිහිපයක් පෙනී සිට අතුරුදන් වන එකය.

ඇමැතිවරුන්ට  අවශ්‍ය වන්නේ විශාල රාජ්‍ය ආයතන තමන් යටතේ  තබා ගන්නටය. ඒවා මගින් නොයෙකුත් ව්‍යාපෘති කරමින් මුදල් වියදම් කරන්නටය. එමගින් තමන්ටත් තම  හෙන්චයියන්ටත් මුදල් උපයා ගැනීමේ අවස්ථා සලසා ගැනීමය. වියදම් අඩුකර ගැනීම, උපරිම කාර්යක්ෂමතාව ඇතිකර ගැනීම ආයතන ලාභදායක ලෙස පවත්වාගෙන යාම ආදියට ඔවුන්ගේ ප‍්‍රමුඛත්වය හිමි වන්නේ නැත. ඒ වෙනුවට උත්සාහ දරන්නේ තම ආධාරකාරයන්ට රැුකියා ලබාදීමටය. එමගින්  ආයතන පාඩු ලබන තත්ත්වයකට පත්වීම ගැන තුට්ටුවක තැකීමක් නැත. ජනතාවට ඇති වගකීම සම්බන්ධයෙන් තිබෙන ආකල්පය එබඳුය.

මෙලෙස සැබෑ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳව අද සිටින මැතිඇමතිවරුන් වැඩිදෙනාගේ එතරම් උනන්දුවක් නැති බව පැහැදිලි කාරණයකි. නායකතුමා ප‍්‍රකාශ කළේ පසුගිය දා පාර්ලිමේන්තුවේ ඉතා හොඳ පුස්තකාලයක් තිබුණද මන්ත‍්‍රීවරුන් එයින් නිසි ප‍්‍රයෝජනයක්  නොගන්නා බවයි. එසේ වී තිබෙන්නේ තමන්ගේ ප‍්‍රධාන කාර්යභාරය නම් රටට අවශ්‍ය නීතිරීති සම්මත කිරීම හා මුදල් පාලනය ආදිය බවට හැඟීමක් මන්ත‍්‍රීවරුන් තුළ නැතිවීමයි.

අද මැතිඇමැතිවරුන් බොහෝ දෙනා සිතා සිටින්නේ මහජනයා  කෙරෙහි තමන්ගේ ඇති වගකීම් වන්නේ ඔවුන්ට මොන මොනවා හෝ ලබාදීම බවයි. කෙසේ හෝ රැුකියා ටිකක් ලබාදීම වෙනත් කිසියම් සහනාධාරයක් ලබාදීම, පාර සෑදීම, වැව පිළිසකර කිරීම ආදී මෙකී නොකී වැඩ තමන්ගේ ප‍්‍රධාන කාර්යය ලෙස ඔවුහු  සලකති. ඒවා  කරන්නටත් ඒ සඳහා බෝඞ් ගසා ගන්නටත් මෙම මැති ඇමතිවරු රුසියෝ වෙති.

ඇත්ත වශයෙන්ම නම් මෙබඳු වැඩකළ යුතු වන්නේ නිලධාරී ක්ෂේත‍්‍රය හා රාජ්‍ය ආයතන විසිනි. මෙම ඇතැම් වැඩ පළාත් සභා මගින්ද තවත් වැඩ පළාත් පාලන ආයතන මගින්ද සිදු කළ හැකිය.  එසේ වුවද  මැති  ඇමැතිවරු එසේ කල්පනා  නොකරති. තමන්ට ඡුන්ද ලැබෙන්නේ  මේ වැඩ කළොත් ය  කියා ඔහු කල්පනා නොකරති. තමන්ට ඡුන්දය ලැබෙන්නේ මේ වැඩකළොත් කියා ඔහු කල්පනා කරති. සමාජයේ පවතින ආකල්පය ද දැන් කලක් තිස්සේ සාකච්ඡුා තිබෙන්නේ මෙම ආකල්ප වර්ධනය වන ආකාරයටය.

පසුගිය කාලයේ  මෙරට දේශපාලනයේ උදලූ බෙදන්නට වතුර මෝටර් බෙදන්නට මහන මැෂින් බෙදන්නට ණය  ලබා දෙන්නට ප‍්‍රමුඛතාව දී ඉදිරිපත් වූයේ මෙම ආකල්පය නිසාය.

කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආකල්පය රාජ්‍ය ප‍්‍රතිපත්තිය තරම් ඉහළම මට්ටමට ක‍්‍රියාත්මක වූයේ පසුගිය පාලන කාලයේදීය. එම කාලයේ සිදුවූයේ  මුළු රාජ්‍ය යන්ත‍්‍රයම බදාගෙන බෙදාගෙන කෑමයි.  සංවර්ධන වැඩ කියා කළ විශාල ව්‍යාපෘති කළේ කාට කාට හෝ හම්බකර ගැනීමටය. ටෙන්ඩර් හා කොන්ත‍්‍රාත් තම තමන්ගේ හෙන්චයියන්ට ලබාදීම දිගින් දිගට සිදුවීය. සාමාන්‍ය ජනයාට ද ගවයන් කුකුළන් ධාන්‍ය ඇට දක්වා බොහෝ දේ බෙද ාදෙනු ලැබීය. එම බෙදාදීම් යට වෙනත් ජාවාරම් ද තිබිණි.  එසේ වුවද එය පෙනී ගියේ  විශාල දානපති  ව්‍යාපෘතියක් වශයෙනි.

මෙම කාලය තුළ තම හිතවතුන්ට විවිධ වරදාන හා අල්ලස් ලබාදෙන ලද්දේ රට විශාල ලෙස ණය කරමිනි. නොකෙරුණේ රටේ ආර්ථිකය යහපත් ලෙස කළමනාකරණය  කිරීමයි. රටට අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීමයි. මුදල් කළමනාකරණය විධිමත් කිරීමයි.
2015 ජනවාරි 8 වැනිදා මහජනයා එම  ආණ්ඩුව පෙරළා දමන ලද්දේ  මෙම විනාශකාරී ගමන නවත්වන්නටය. එය ආපසු හරවන්නටය. එසේ නැතිව  තවත් පිරිසකට එයම කරන්නට ඉඩ දෙන්නට නොවේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම්වලින් පෙනී යන්නේ අපගේ දේශපාලනඥයන්  බහුතරය තුළ ආකල්පමය  වෙනසක් තවමත් සිදුවී නැති බවය. පසුගිය කාලයේ රටේ වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය හා ආකල්ප අඩුවම කටයුතු කරන්නට මෙම දේශපාලනඥයන් ද පෙළඹී සිටින බව  පෙනෙන්නට තිබේ.

කාල් මාක්ස් කතා කළේ පන්ති සටන ගැනයි. ඉතිහාසය ඉදිරියට යන්නේ  පන්තීන්  අතර සටන  නිසා බව ඔහු ප‍්‍රකාශ කළේය. එසේ වුවද ලූවී බොනපාට්ගේ බලයට පත්වීම ගැන ඔහු කීවේ ප‍්‍රංශයේ පාදඩ පන්තියට කන්නට බොන්නට දුන් විට එම ජනයා ලූවී බොනපාට් තම නායකයා හා වීරයා ලෙස ඔල්වරසන් දුන් බවයි. එනම් පාදඩ දේශපාලනයක් ක‍්‍රියාත්මක වූ බවයි.
පසුගිය කාලයේ අප රටේ පැවති  එබඳුම පාදඩ පාලනක් මහජනයා එක්සත්වී පෙරළා දැම්මෝය. එසේ වුවද එම පාලනය පෙරළා දැමීම ද එයට පදනම් වූ දේශපාලන සංස්කෘතිය හා ආකල්ප වෙනස් කරන්නට තවමත් නොහැකිවී ඇත. පැරණි පාදඩ පාලනයට සම්බන්ධ ඇතැම් පිරිස් ද වර්තමාන පාලනයට සම්බන්ධවී සිටිති.

එබැවින් තවත් පාදඩ යුගයකට යළිත් ගමන් කිරීමට උත්සාහ දැරීමක් සිදුවීමට ඉඩ නැතිවා නොවේ. එය නැවැත්විය හැක්කේ දිගටම කරන අරගලයක් මතින් මෙම දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කිරීමෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *