විපක්ෂයේ අකරතැබ්බය – සී ජේ අමරතුංග
ඒකාබද්ධ විපක්ෂය සීනිගම ගියේ පොල් ගහන්නටය. එෆ්.සී.අයි.ඞී යට එරෙහිව දෙවියන්ට පොල් ගසන බව ප්‍රකාශ විය. පොල් ලක්ෂයක් ගහන බව කීවද එහි ගසා තිබුණේ පොල් ගෙඩි අටසියයක් බව කියැවිණි. එයටද හොර පොල් ඇතුළත් බව ප්‍රචාරය වීම විපක්ෂයට සිදුවූ අකරතැබ්බයකි. පොල් ගසන අය අතර පොකට් ගහන උදවියද වූ බවද තහවුරු විය. එයින් විපක්ෂයේ විරෝධයේ හුළං බැස්ස බව පෙනෙන්නට තිබිණි.
විපක්ෂයේ විරෝධය බරපතළ ලෙස එල්ලවී ඇත්තේ එෆ්.සී.අයි.ඞී.ය හෙවත් බරපතළ මූල්‍ය අපරාධ කොට්ඨාසයටය. එය පිහිටුවා ඇත්තේ පොලිසියේ විශේෂ අංශයක් ලෙසය.
මෙහි ප්‍රධාන අරමුණ වූයේ පසුගිය සමයේ බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ හා බලධාරීන්ගේ ¥ෂණ සෙවීමය. පසුගියදා එමගින් අත්අඩංගුවට ගත්තේ හිටපු ජනාධිපතිතුමාගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂයි. මේ වනවිට ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයෙහිය. ඔහුට අයත් සී.එස්.එන්. රූපවාහිනි නාලිකාව ආරම්භ කිරීමට රුපියල් කෝටි විසිතුන හමාරක් ලැබුණු ආකාරය කියන්නට ඔහුට හැකිවී නැත. චෝදනාව මේවා කළු සල්ලි බවයි. එනම් හොරා කෑ මහජන මුදල් බවයි.
හැමෝගෙම ෆයිල් එෆ් සී අයි ඩී යේ
ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකුගේ ෆයිල් එෆ්.සී.අයි.ඞීයේ ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. ඇතැමුන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ගද ගෙන ඇත. සචින් වාස් ගුණවර්ධන, ජොන්්ස්ටන් ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ ආදීන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන ඇත. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියන්නේ පරීක්ෂණ නිම කළ තවත් ෆයිල් තිහකට වැඩි සංඛ්‍යාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ඇති බවයි.
මේ නිසා එෆ්.සී.අයි.ඞී. යට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂයට ඕනෑතරම් හේතු ඇත. මෙය දිගට කි‍්‍රයාත්මක වුවහොත් රාජපක්ෂ පාලනයේ සිටි තවත් ප්‍රබලයන් ගණනාවකට සිරගත වන්නට සිදුවන බව නිසැකය. ඇතැමුන් මේ වන විටත් බේරී සිටින්නේ කල් තියා අධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තහනම් නියෝග ගෙන ඇති නිසාය. එසේ වුවද සාක්ෂි සහිතව චෝදනා අධිකරණයට ඉදිරිපත් කළහොත් මෙම තත්ත්වය වෙනස් විය හැකිය.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය එෆ්.සී.අයි.ඞී යට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරයට එතරම් ජනතා සහයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ චෝදනාවලට පදනමක් ඇති බවක් මහජනයාට පෙනී යනවා විය හැකිය.
එෆ්.සී.අයි.ඞී. ය නීති විරෝධී බව විපක්ෂයේ එක් තර්කයකි. එසේ වුවද එමගින් අත්අඩංගුවට ගත් උදවිය රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය පැකිළෙන්නේ නැත. අධිකරණය එෆ්.සී.අයි.ඞී. ය සලකන්නේ නීත්‍යනුකූල පොලිසියක් වශයෙනි. චෝදනාවට ලක්වූවන්ගේ නීතිඥයන්ට ද එයට එරෙහිව කරුණු දක්වන්නට හැකියාවක් ඇති බවක් පෙනෙන්නට නැත.
විපක්ෂයේ තවත් තර්කයක් නම් එෆ්.සී.අයි.ඞී.ය අපක්ෂපාත නැති බවයි. එයට ගෙනයන්නේ ශ්‍රී ලංකා කාරයන් පමණක් බවත් යූඇන්පී කාරයන් ගෙනයන්නේ නැති බවත් කියති. එසේ වුවද එවැනි තැනකට දෙපැත්තෙන් සම සමව ගෙන යා යුතුය කියා නීතියක් නැත. නීතිය තිබෙන්නේ වැරැුදි කළ අය අල්ලන්නටය. පසුගිය කාලයේ බලයේ සිටියේ ශ්‍රීලනිප ප්රමුඛ සන්ධානයයි. ඒ යටතේ විශාල ලෙස ¥ෂණ වංචා සිදුවූ බවට චෝදනා එල්ල වීය. පසුගිය වසරේ ජනවාරි 2 වැනිදා මෙරට ජනතාව එම ආණ්ඩුව බලයෙන් පහ කළේ එම චෝදනා පිළිගත් නිසාය. එලෙස ¥ෂණ කි‍්‍රයා කළවුන්ට දඬුවම් දීමද මහජන ඉල්ලීමකි. මේ කරන්නේ එයයි. එය තුලනය කරන්නට අනෙක් පක්ෂයෙන් අල්ලන්නට ක්‍රමයක් නැත.
බලයේ ඉන්න අයටත් පාඩමක්
එදා ශ්‍රීලනිප ප්රමුඛ සන්ධානය කළ කී දෑ දැන් බලයේ සිටින එජාප සන්ධාන හවුල් රජයේ උදවියත් කරනවා විය හැකිය. එසේනම් ඒවාද ඇල්ලිය යුතුය. එමෙන්ම දැන් බලයේ සිටින අයටත් පාඩමක් වන්නේ බලයේ සිටි උදවියගේ දුෂණ වංචා හෙළිදරව් කිරීමයි. ඔවුන්ට වැරැුදි කර ගැලවී යා නොහැකි බව පෙනෙන්නට සැලැස්වීමයි. දැන් බලයේ ඉන්න උදවියද දුෂණ කරන්නට බිය වන්නේ එවිටය.
පසුගිය රජයේ දුෂණ සෙවීමට මේ රජයේ උදවිය ඉක්මන් පියවර නොගන්නේය යන්න මහජනයාගේ එක් චෝදනාවකි. එය ඇත්තක් නම් එයට හේතුව විය හැක්කේ තමන්ටත් දවසක මේ ඉරණම අත්වනු ඇතැයි ඇතැමුන් තුළ බියක් ඇතිවීමය. එබැවින් මහජනයා සටන් වැදිය යුත්තේ දුෂිතයන්ට දඬුවම් කිරීම ඉක්මන් කරන්නට හා හරියට කරන්නටය. ඒකාබද්ධ විපක්ෂය සටන් කරන්නේ එම කි‍්‍රයාවලිය නවත්තන්නටය.
සාමාන්‍යයෙන් විපක්ෂයක කාර්යභාරය විය යුත්තේ රජයකට එරෙහිව මහජනයාගේ වුවමනාවන් නියෝජනය කිරීමයි. එසේ කරන්නට හැකියාව නැතිකම මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂය මුහුණ දෙන අභියෝගයයි. මහජනයාගේ වුවමනාව නියෝජනය කිරීමට හැකිව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට හා සිවිල් සංවිධානවලටය. එය ඒකාබද්ධ විපක්ෂයේ අකරතැබ්බයකි.
ඒකාබද්ධ විපක්ෂයට අද අවශ්‍යව ඇත්තේ කුමන ආකාරයක හෝ ආණ්ඩු විරෝධයක් පෙන්වන්නටය. එහි දේශපාලන අරමුණ ශ්‍රීලනිපයේ බලය අල්ලා ගැනීම බව පෙනෙන්නට ඇත. එසේ වුවද එම උත්සාහයේදී විපක්ෂයට තවත් අකරතැබ්බ ගණනාවකට මුහුණදීමට සිදුවූ බව මෑත කාලයේ දක්නට ලැබිණි.
විපක්ෂයේ පුස් වෙඩි
ජනාධිපතිවරයා පත්වී වසරක් ගෙවන දිනය සමරද්දී ඒකාබද්ධ විපක්ෂයේ එක් නායකයකු වන උදය ගම්මන්පිල කීවේ කළු කොඩි ඔසවන ලෙසයි. එයට ලැබුණු ප්‍රතිචාරය මගින් කෙරුණේ එය ඔවුන්ටම අකරතැබ්බයක් වූ බවයි. එසේ කළු කොඩි එසවීමට තරම් විරෝධයක් රටේ නොතිබූ බව ඒකාබද්ධ විපක්ෂයේම අනෙක් නායකයන්ට තේරෙන්නට ඇත. ඔවුන් වහාම කීවේ ”අනේ අපිනම් කළු කොඩි ඔසවන්නට කීවේ නැත” කියාය. ගම්මන්පිලට සිදුවූයේ තනිවම කළු කොඩි දමන්නටය.
ථෙරවාදී බෞද්ධ කතිකාවක් නීතිගත කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කළ පනතට එරෙහිව ද ඒකාබද්ධ විපක්ෂය යුද ප්‍රකාශ කළේය. එයට සහාය දෙන ඇතැම් භික්ෂුන් වහන්සේලා කීවේ මෙම පනත ගෙනාවේ බුද්ධාගම විනාශ කරන්නට බවයි. එයට ඡුන්දය දෙන අයගේ පාන්සකූලය දෙන්නටවත් භික්ෂුන් වහන්සේ නොවඩින බවද ප්‍රකාශ වීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ මෙම පනත සම්මත වූ විට පිරිත් නූලක් බඳින්නටවත් භික්ෂුන් වහන්සේලාට නොහැකි වන බවයි.
ඒකාබද්ධ විපක්ෂය මෙම පනත බිල්ලෙක් ලෙස පෙන්වන විට මහානායක හිමිවරුන් ප්‍රකාශ කළේ එම පනත ගෙනාවේ තමන්ගේ වුවමනාවට බවයි. එහි අඩුපාඩු ඇතොත් සකස් කරගෙන සම්මත කළ යුතුම බව නිකාය තුනෙහිම නායක ස්වාමින් වහන්සේලාගේ මතය විය. විවිධ පාර්ශ්ව වල නායක ස්වාමින් වහන්සේලාද කීවේ ඒ කතාවමය. එවිට විපක්ෂයට සටන් කරන්නට සිදුවූයේ ආණ්ඩුව සමග නොව මහානායක හිමිවරුන් සමගය. එයද ඒකාබද්ධ විපක්ෂය මුහුණ දුන් තවත් අකරතැබ්බයක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කිරීමේ යෝජනාවට ද විපක්ෂය විරුද්ධ විය. ඔවුන්ගේ ස්ථාවරය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමයට කරන ලෙසය. ඒ කියන්නේ ආණ්ඩුවෙන් ව්‍යවස්ථාවක් හදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. මේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට පාර්ලිමේන්තුවම හවුල් කර ගැනීම වරදක් බවයි. සාමාන්‍යයෙන් විපක්ෂයක් කිව යුත්තේ මෙහි ප්‍රතිවිරුද්ධ අදහසයි. එනම් ව්‍යවස්ථාව හදන්න සියලූ පක්ෂ හවුල් කරගත යුතු බවයි. මේ විපක්ෂය කියන්නේ එය නොකළ යුතු බවයි. කුමකට වුවත් විරුද්ධ වීම මෙහි තිබෙන එකම න්‍යාය බව පෙනෙන්නට ඇත.
කොයිදේටත් විරුද්දයි
අලූතින් ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය බව අහෝසි කොට ඇති බවත්, බුද්ධාගමට තැන දී නැති බවත් කියා විරෝධය දක්වන්නට ද ඒකාබද්ධ විපක්ෂය ඉක්මන් විය. එසේ විරෝධය පෑවේ තවමත් හදා නැති ව්යවස්ථාවකටය. ආණ්ඩුව කීවේ ව්‍යවස්ථාව හදන්න විපක්ෂයත් එකතු විය යුතු බවයි. විපක්ෂය එයට එකතු නොවී හදා නැති ව්‍යවස්ථාවකට එරෙහිව විශාල ඝෝෂාවක් කළේය. එයින් තමන්ගේ අනුගාමික පිරිසට උත්තේජනයක් ලැබුණා කියා විපක්ෂය සැනසෙනවා ඇත. එසේ වුවද බුද්ධිමත් ජනතාව ඉදිරියේ ඒකාබද්ධ විපක්ෂය ජෝකරයන් පිරිසක් වූවාද යන්න ගැනද සොයා බැලිය යුතුව ඇත.
ඒකාබද්ධ විපක්ෂය කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දෙමළ භාෂාවෙහි තිබෙන ජාතික ගීය එම භාෂාවෙන් ගැයුවොත් රට දෙකඩ වන බවයි. එසේ කළහොත් දෝෂාභියෝගයක් ගෙනෙන බවටද විපක්ෂය පාරම් බෑහ. එසේ වුවද එම තර්ජන තුට්ටුවකට ගණන් නොගෙන ආණ්ඩුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට කටයුතු කළේය. දැන් බොහෝ දෙනා කියන්නේ එයින් ජාතික සමගිය තහවුරු වූ බවයි. ශ්‍රී ලංකා මාතාවට දෙමළ භාෂාවෙන් නමෝ නමෝ කියා නමදින්නට දෙමළ ජනයාට ඉඩ දුන් විට රට කැඩෙන හැටියක් නම් මේ රටේ බුද්ධිමත් ජනයාට තේරුම් කර දීමට පහසු නොවනු ඇත.
මේ අප කීවේ ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලයේ ගොඩනඟන්නට හැදූ විරෝධතා බොහොමයක් පුස් වෙඩි බවට පත්වූ ආකාරයයි. එයින්ද ඔවුන් හෙම්බත් වූ බවක් පෙනෙන්නට නැත. දැන් සටන තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයකුට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැුස්වීමට සහභාගි වීමට ඉඩදිය යුතු බව ඔවුහු කියති. එසේ වුවද එම නායකයා පාර්ලිමේන්තුවේ පක්ෂයක් නියෝජනය නොකරයි. ඔහු නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එයින් ඉවත් නොවී හා වෙනත් පක්ෂයක් නොහදාම පක්ෂ නායකකමත් ඉල්ලයි. කතානායක තුමා හා පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂ මේ ප්රශ්නය කෙසේ විසඳාගත්තද මෙම ඉල්ලීමේ විකාරරූපී බව නම් යටපත් වන්නේ නැත.
පක්ෂයක් නැති නායකයෙක්
මෙලෙස තදියමේ හැම දේටම විරුද්ධ වෙමින් විරෝධතා දක්වන්නේ වහාම ආණ්ඩුවක් පිහිටුවන්නට නොවන බව නම් පැහැදිලිය. ඇත්ත සටන තිබෙන්නේ සන්ධානයේ ඇතුළේය. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා හැකිනම් රූකඩයක් බවට පත්කොට සන්ධානයේ බලය හිටපු ජනාධිපතිවරයාට ලබාදීම එක් අරමුණක් විය හැකිය. එසේ නැතිනම් සන්ධානයේ ලොකු කුට්ටියක් කඩාගෙන අනාගතයේ බලය ලබාගන්නා කණ්ඩායමක් බවට පත්වීමයි.
ශ්‍රීලනිපයේ සාම්ප්‍රදායික ප්‍රතිවාදී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එම සාම්ප්‍රදායික සතුරා සමග සමගි සන්ධාන ආණ්ඩුවක් පවත්වාගෙන යනවිට මෙම විපක්ෂයට තිබෙන හොඳම අවිය ආණ්ඩු විරෝධයයි. මෙහි එල්ලය නම් සමගි සන්ධාන ආණ්ඩුවකට නායකත්වය දීමට එකඟ වී සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ බව තේරුම් ගැනීම අපහසු නැත.
දැන් මෙයට වැඩි කල් ගැනීමටද ඒකාබද්ධ විපක්ෂයේ උදවියට හැකියාව නැති බව පෙනෙන්නට ඇත. එෆ්.සී.අයි.ඞී. යට, ජනාධිපති කොමිසමට හා රහස් පොලිසියට තවත් කල් ලැබුණු විට තවත් බොහෝ දේ හෙළිවීම වැළැක්විය නොහැකිය. එයින් අමාරුවේ වැටෙන්නෝ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෝය. එය ඉක්මනින් නවතාගත යුතුව ඇත. හැම දේකටම විරුද්ධ වෙමින් අතාර්කික ලෙස හැසිරෙන්නේ එම තදියම් වුවමනාව නිසාය.
මේ උත්සාහය නම් ඉතිහාසයේ රෝදය ආපසු හරවන්නටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේ මේ එන්නේ ප්රතිවිප්ලවය බවයි. මහජන නැගිටීමකින් කළ බල පෙරළියකට එරෙහිව නැගෙන කැරැුල්ලක් ලෙස මෙය හඳුනාගත හැකිය.
ඒකාධිපති පාලනයක් පෙරළා දැමූ විට එහි අනුගාමිකයන් කලක් තිස්සේ සටන් කරන බව ඉතිහාසයේ අත්දැකීමකි. රුසියාවේ සාර් රජ බලයෙන් නෙරපා වසර ගණනක් යන තෙක් ප්රතිවිප්ලවකාරී හමුදා සටන් වැදුණේ යළි සාර් පාලනය ගෙන එන්නටය. හිට්ලර් බලයෙන් නෙරපා බොහෝ කලක් ගියත් නාසිවාදීහු තවමත් ලොව තැන තැන හොල්මන් කරති. එසේ වුවද එබඳු බලවේගයකට ඉතිහාසය ආපසු හැරවිය නොහැකිය.
ශ්රීලනිපය යළි බලයට ගෙන ඒමට අවශ්‍ය ඕනෑම පාක්ෂිකයකු පෙරමුණ ගත යුතු වන්නේ එය පිරිසුදු කොට ප්‍රතිසංවිධානය කරන්නටය. අන්ත දුෂිත, ඒකාධිපති හා මිනීමරු බලවේග මූලිකත්වයේ තබාගෙන නව ගමනක් යාමට ශ්‍රීලනිපයට හැකියාවක් නැත. මේ යථාර්ථය ඉක්මනින් හෝ කල් පසුවී එම පාක්ෂිකයන් තේරුම් ගන්නවා නියතය.
