දකුණට එකයි උතුරට එකයි – සිරිසේන රාජපක්ෂ
මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ පාස්කු ප්‍රහාරකයෙකු වන සහරාන් අතර සම්බන්ධතාවක් ඇතැයි තහවුරු කිරීමට උත්සාහ කරන ප්රචාරක වැඩසටහනක් මේ දිනවල දියත් වෙමින් පවතී. මේ වන විටත් රවුෆ් හකීම් මහතා එම ප්‍රචාරය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරන්නට යෙදී ඇති නමුත් එවැනි උපායන් මගින් අදාල තැනැත්තා ලබා ගැනීමට උත්සාහ කරන වාසිය කුමක්ද යන්නත් එවැනි බාල වැඩ හේතුවෙන් රටේ අනාගතයට ඇතිවිය හැකි භයානක ඉරණම පිළිබඳත් අවබෝධ කරගැනීම වැදගත් වේ.
පාස්කු ප්‍රහාරය සමඟ ඇතිවූ තත්ත්වය තමන්ගේ බල ව්‍යාපෘතියේ වාසි පිණිස යොදා ගැනීමට පොහොට්ටු වාදීහු දිගින් දිගටම කටයුතු කරමින් සිටිති. වඳ සැත්කම් 4000 කට වැඩි ප්‍රමාණයක් කරන ලදැයි රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන මගින් මහත් ප්‍රචාරයක් ගෙන ගිය කුරුණෑගල වෛද්‍ය ෂාපි ෂිහාබ්දීන් පිළිබඳ කතාව එකී උත්සහයේ කොටසකි. එම වෛද්‍යවරයා පිළිබඳ සිද්ධිය සමාජගත කරන්නට මහත් වෙහෙසක් ගත් අතුරලියේ රතන වැන්නන් ද ගෝඨාභය මහතාගේ මැතිවරණ වේදිකාවේ දක්නට ලැබීම ඉතිහාසයේ සරදමක් නොව ජාතිවාදී දේශපාලනයේ අනිවාර්ය ලක්ෂණයකි.
අතුරලියේ රතන පිළිබඳ කථාවේ දී අමතක කළ නොහැකි තවත් කරුණක් වන්නේ නැගෙනහිර පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු දේශපාලනඥයන්ට පිරිසකට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මහනුවර දී කරන ලද උපවාසයයි . හිස්බුල්ලා මහතා නැගෙනහිර ආණ්ඩුකාර ධූරයට පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. එසේ පත්කරන සමයේ අතුරලියේ රතන සිටියේද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායමේය. එසේම හිස්බුල්ලා මහතා නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලයේ කටයුතු ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී ය. ඒ සමයේ අතුරලියේ රතන ආදීන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඔඩොක්කුවේ සිටියේ හිස්බුල්ලා මහතා ද සමග එක්වය. ඒ දිනවල එනම්, හිස්බුල්ලා මහතා මහින්ද මහතාගේ පිලේ සිටියදීත් මෛත්‍රී මහතා ඔහු ආණ්ඩුකාර ධූරයට පත් කරද්දී ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පෑවේ නැත.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් 35 දෙනා අතරින් හිස්බුල්ලා මහතා ද කෙනෙකි . ඒ මහතා තරග වැදී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පිණිස සජිත් මහතා වෙතට යොමු විය හැකි නැගෙනහිර පළාතේ ඡන්ද කැඩීම සඳහාය යන්න ප්‍රකට මතයකි. ගැටලුව වන්නේ ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය කෙරෙහි පොහොට්ටු පක්ෂයේ කිසිවකු කිසිදු අභියෝගයක් එල්ල නො කිරීමයි. සුදුසුකම් සපුරන ඕනෑම අයෙකුට කවර හෝ මැතිවරණයකට ඉදිරිපත් වීමේ අයිතිය පිළිගත යුතුය. ඔවුනට ඡන්දය දෙන්නේ ද නොදෙන්නේද යන්න ජනතාවගේ තීරණයකි. නමුත් යම් හෙයකින් හිස්බුල්ලා මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පිණිස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නම් අතුරුලියේ රතන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැන්නන් කෙසේ හැසිරෙනු ඇත්ද යන්නද සිතා බැලිය යුතුය.
රවුෆ් හකීම් මහතා සම්බන්ධයෙන් පොහොට්ටු හිතවාදීන් මේ වන විට අනුගමනය කරන ප්රචාරකවාදී ක්‍රියාදාමයට හේතුව අන් කිසිවක් නොව ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට හිතවත් මතවාදය නියෝජනය කිරීමයි.
එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ හිටපු අණදෙන නිලධාරියා වන කරුණා අම්මාන් මහතා මෙවරත් රාජපක්ෂ කණ්ඩායමේ සහයට ඉදිරිපත් වී සිටී. එපමණක් නොවේ පිල්ලයාන් මහතාගේ සහය ලැබෙන්නේ ද ගෝඨාභය මහතාට ය. තමන්ට සහයෝගය ලබාදෙන ඔවුන්ගේ කොටි හිතවාදී අතීතය ගැන පොහොට්ටුව වචනයක්වත් කතා කරන්නේ නැත. වර්ධරාජා පෙරුමාල් යනු උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයාය . උතුරු නැගෙනහිර පළාතේ වෙනම පොලිස් හමුදාවක් ගොඩනැගීමට උත්සාහ ගත් තැනැත්තා වන්නේ වර්ධරාජා පෙරුමාල් මහතාය . එකල උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරින්නට කටයුතු කෙරුණේ ද වර්ධරාජා පෙරුමාල් මහතාගේ එම උත්සාහය නිසාය. එවැනි බරපතළ උත්සාහයක් ගත් වර්ධරාජා මහතාගේ සහයෝගය මේ වන විට ගෝඨාභය මහතාට ලැබෙමින් පවතී. එසේ තිබියදී පොහොට්ටුවේ විවේචනයට ලක්වන්නේ ඒකීය රටක් තුළ ප්‍රශ්න විසඳාගැනීම කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ඔප්පු කරමින් සිටින සුමන්තිරන් මහතා, ආනන්ද සංගරී මහතා ආදී එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව හෝ රාජපක්ෂ පිලට විරෝධීව කටයුතු කරන තැනැත්තන්ටය.
ඒසදහා වන තවත් නිදර්ශනයක් වන්නේ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා කෙරෙහි එල්ල වන පොහොට්ටු විරෝධයයි. රිෂාඩ් බදියුදීන් මහතා යනු වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පමණක් අමාත්‍ය ධූර දැරූ තැනැත්තෙකු නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ඒ මහතා අමාත්‍යවරයෙකි. එකල බදියුදීන් මහතා රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන විට ඔහු දේශප්‍රේමියෙකි. දැන් අතුරලියේ රතනලාටත් අනෙකුත් රාජපක්ෂ හිතවාදීන්ටත් බදියුදීන් මහතා දේශද්‍රෝහියෙකු ලෙස පෙනෙන්නට එකම හේතුව ඔහුගේ සහාය මේ වන විට එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබීමයි.
පසුගිය අගෝස්තු මස 5 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහා ඇමති එනම් 1990 දී වෙනම දෙමළ රාජ්‍යයක් උතුරු නැගෙනහිර පළාතේ ප්‍රකාශයට පත් කිරීමේ චෝදනාවට ලක් වූ තැනැත්තා වන වර්ධරාජා පෙරුමාල් මහතා ඇතුළු දෙමළ ජාතිකයන් කණ්ඩායමක් සමග සාකච්ඡාවක් කළේය. එම සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා එම පිරිස්ට 2012 වසරේදී තමා පොරොන්දු තර්ටීන් ප්ලස් හෙවත් දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය එනම්, පළාත් සභා බලතල ඉක්මවා යන බලතල උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ලබා දීමට පොරොන්දු වූ බව ඉංග්‍රිසි පුවත්පතක් වාර්තා කර තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා එහිදී පොරොන්දු වන්නේ අනාගතයේ බිහි වන පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ 13 ප්ලස් යෝජනාව ක්‍රියාත්මක කරන බවටය. එපමණක් නොවේ, එහිදී උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබේ. නමුත් ඒ ගැන මහින්ද හිතවාදී දකුණේ සිංහල මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවේ ජනමාධ්‍ය පවා වචනයක්වත් සඳහන් කර තිබුණේ නැත.
ඉහත කරුණු අනුව පැහැදිලිවම ඔප්පු වන්නේ උතුරේ ඡන්ද වෙනුවෙන් සහ දකුණේ සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීම සඳහා දෙපැත්තට දෙකක් කියන දෙබිඩි පිළිවෙතක මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම නිරත වී සිටින බවයි. ඔවුන්ගේ එම බාල උපක්‍රම වලට උතුරේත් දකුණේත් ජනතාව මුලා වන්නේද නොවන්නේද යන කරුණු මත නිසැකවම රටේ අනාගතය තීරණය වනු ඇත.

