බෞද්ධ නොවන සංඝ ආඥා – භික්ෂූන් පරාදයි මංගල දිනුම් – අනුර සූරියබණ්ඩාර

ගම්පහ  ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන අයට තමන්ගේ පන්සල් වලට  ඇතුළු වීම තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට යෙදිණ.  ඊළඟට ඊට එකතු වූයේ මාතර දිස්ත්‍රික් සංඝනායක සමිතිය   සහ මාතර දිස්ත්‍රික්  ශාසනාරක්ෂක බලමණ්ඩලය ය.  මාතර භික්ෂූන් කියන්න ට යෙදුනේ මංගල ඇමැතිවරයා සහභාගීි වන රැස්වීම් ඔවුන් වර්ජනය කරන බව සහ මාතර පන්සල් වලට ඇමැතිවරයා පැමිණීම තහනම් කරන බව ය.

බෞද්ධයකුට හෝ  වෙනත් ආගමිකයකුට  බුදුන් වැඳීමට පන්සලකට පැමිණීම තහනම් කරන්නට බෞද්ධ දර්ශනය අනුව කවර භික්ෂුවකට හෝ අයිතියක් තිබේද ද යන්න වෙනම විමසා බැලිය යුතුය.

තමන්ට විරුද්ධව පැනවූ  තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මංගල  ඇමතිවරයා ඉතාමත්  නිවැරදි ආකාරයෙන් පෙන්වා දී තිබුණේ බුදුන් දවස බුදුන් නැසීමට ගල් පෙරලු,  බුදුන් ඇසීමට නාලාගිරි ඇතු මෙහෙයවූ  දේවදත් තෙරට  පවා විහාරස්ථාන තහනම් කිරීමක් සිදු නොවූ බවය.

මංගල සමරවීර ඇමතිවරයා ට පන්සල් තහනම් කිරීමට හේතුව බුද්ධාගමට විරුද්ධව කටයුතු කිරීමක් නොවේ.  එකම වරද ඔහු තම හිතට එකඟව අදහස් ප්‍රකාශ කිරීමය .  ඔහු කරන ලද ප්‍රකාශය වන්නේ ලංකාවේ බහුතර ජනගහනය සිංහල බෞද්ධ බව ඇත්තක් වන නමුත් ඒ නිසාම ලංකාව යනු සිංහල බෞද්ධයන්ගේ රටක් පමණක් නොවන බවය.  ලංකාවේ යනු සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව කිතුනු, හින්දු, ඉස්ලාම් ආගමිකයන්ගේත්  දෙමළ, මුස්ලිම් , බර්ගර් ආදී සියලු ජන වර්ගයන්ගේ රට බව මංගල ඇමතිවරයා කීවේය.  කිතුනු, හින්දු, ඉස්ලාම්, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජනතාවට සමාන අයිතිය තිබිය යුතු බවයි මංගල සමරවීර ඇමතිවරයා කියනු ලැබුවේ.

බුදුන් වහන්සේ යනු ලොවට සමානාත්මතාව දේශනා කළ ශාස්තෘන් වහන්සේ බව බෞද්ධයන් පිළිගන්නා කරුණකි.  උන්වහන්සේගේ කරුණාව අංගුලිමාලටත් සෝපාකටත් එක සේ සමාන විය.  අන්‍ය ආගමිකයන්ට හෝ අනෙකුත් ජාතීන්ට සමතැන තිබිය යුතු යන කියුම  බෞද්ධ විරෝධී වන්නේ කෙසේද යන්න මංගල සමරවීරට පන්සල් තහනම් කළ භික්ෂූන් පැහැදිලි කළ යුතුය.  එපමණක් නොවේ,  සියලු ආගම් වලට,  සියලු ජාතීන්ට සමාන අයිතිය තිබිය යුතු යැයි කීම පන්සල් තහනම් කිරීමට හේතුවක් වන්නේ කෙසේදැයි සැබෑ බෞද්ධයන් අදාල භික්ෂූන්ගෙන් විමසිය යුතුය.

සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට සමාන අයිතිය ඇති බව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදයේ සරල මූලධර්මය අනුව පවා සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට වෙනස්කම් වලට  ලක්වීමෙන් තොරව ජීවත් වීමේ අයිතිය තහවුරු කර දිය යුතුව තිබේ.

නමුත්,  මේ වනවිට මංගල සමරවීර ඇමතිවරයාගේ ප්‍රකාශය මුල්කර ගනිමින් ඔහුට ප්‍රහාර එල්ල කිරීමට,  එම ප්‍රකාශය මුල්කර ගනිමින් ඔහු දේශපාලන වශයෙන් හුදකලා කිරීමට  විරුද්ධවාදී දේශපාලකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පෙනේ. එම  දේශපාලකයන්ගෙන්  ඇසිය යුතුව ඇති සරල  ප්‍රශ්නය වන්නේ මහත්වරුනි ප්‍රජාතන්ත්‍රවාදය අනුව සියලූ ආගම් සියලු ජාතීන් සමාන බව ඔබ පිළිගන්නවාද නැද්ද යන්නය.

ජාතීන්ගේ සමානාත්මතාව පිළිනොගන්නා දේශපාලකයෙක් වේද ඔහු පැහැදිලි ලෙසම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ අයෙක් වන්නේය.  එවැන්නන්  බලය හොබවන රටක් දියුනුවට පත් වන්නේ යැයි කෙසේවත් සිතිය නොහැකිය.  එවැනි පාලකයන්ගෙන් බලාපොරොත්තු විය හැකි වන්නේ ගැටුම් සහිත සමගියෙන් තොර විනාශකාරී අනාගතයක් පමණි.

මංගල ඇමතිවරයාට පවරනු ලැබූ සංඝ ආඥාව යනු සංඝ ආඥාව  යන වචනය පවා කිලිටි කිරීමකි.  එම වචනය අවභාවිතා කිරීමකි. මෙකි ආඥාවට සම්බන්ධ පිරිස භික්ෂූන් වුව  බුදුන්ගේ හෝ බුදුදහමේ  අනුගාමිකයන් නොවේ.  ඔවුන්  දේශපාලන අනුගාමිකයකයන් පිරිසකි.  ඔවුන් කටයුතු කරමින් සිටින්නේ බුදු සසුනේ  චිරස්ථිතිය වෙනුවෙන් නොවේ.  තමන් අදහන තමන්ට වාසිදායක යැයි ඔවුන් සිතන දේශපාලන පැවැත්ම වෙනුවෙනි.

පසුගිය  සමයේ මිනිස් ඝාතන මිනිසුන් අතුරුදහන්  කිරීම් සුදු වෑන් සංස්කෘතිය හමුවේ මෙකී භික්ෂූන්ගේ සංඝ ආඥා  ක්‍රියාත්මක වූයේ නැත.  අවම වශයෙන් එවැනි දේ සිදු නොවිය යුතු බවට උපදෙසක්, අනුශාසනාවක් වත් මෙකි  භික්ෂූන් අතින් සිදුවූයේ නැත.

මේ තත්ත්වය වනාහී තලේබාන් , අයි එස්  අන්තවාදය තරමටම  දරුණු සහ භයානක බෞද්ධ අන්තවාදයකි . බෞද්ධ මූලධර්මවාදයකි. එම   මූලධර්මවාදයේ බලකණු සහ නියමුවන් බවට පත්ව සිටින්නේ හිට්ලර් පන්නයේ  නායකයන් ඉල්ලන පිරිසකි.  ගැටලු වන්නේ ඔවුන්ගේ එම දුෂ්ඨ පිළිවෙත හමුවේ අස්ගිරිය කෙසේ වෙතත් මල්වතු පාර්ශවය ඇතුළු අනෙකුත් දේශපාලන අන්තවාදී නොවන භික්ෂු පරම්පරාවලින්වත්  පැහැදිලි කිරීමක් විරෝධයන්,  මග පෙන්වීමක් සිදු නොවීමය.

මෙරට දේශපාලනය ද කොයි තරමට අවස්ථාවාදී ද යන්න මංගල ඇමතිවරයාට වටලා පහරදෙන අවස්ථාවේ දී පවා ඔහුගේ ප්‍රකාශයේ සාධාරණත්වය වෙනුවෙන්  පෙනී සිටින්නට කිසිවකු ඉදිරිපත් නොවීම මගින් පැහැදිළි වේ.  සියල්ලන්ම කල්පනා කරන්නේ රට හෝ රටේ අනාගතය හෝ මානව අයිතිවාසිකම්,  ප්‍රජාතන්ත්‍රවාදයේ  යහ  පැවැත්ම ගැන නොවේ.  තමන්ට ලැබෙන නොලැබෙන ඡන්ද ප්‍ර ප්‍රමාණය ගැන පමණි.  එවැනි අවස්ථාවාදී  දේශපාලකයන් රටට තවදුරටත් අවශ්‍ය ද? නැද්ද?  යන්න ජනතාව විසින් තීරණය කළ යුතු ව ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයා යනු කවර දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද තමන් අදහන සත්‍ය වෙනුවෙන් පෙනී සිටින තැනැත්තෙකි.  අතීත ක්‍රියාකාරකම් අනුව ද ඔහු ඒබව ඔප්පු කර තිබේ.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව  බලයට ගෙන ඒම සඳහා වෙහෙසී කටයුතු කළ ඔහු එම ආණ්ඩුව වැරදි පාරේ යන බව වැටහුනු වහාම සියල්ල කැප කර එළියට බැස්සේය. සහෝදර සමාගම නිසා තමන්ට කිසිවක් කරගත  නොහැකි වුවත් වූ බවත් තමන් අසරණ ව සිටින බවත් කියමින් අන්තිමේ කෙදිරිගාන තත්ත්වයට මංගල  සමරවීර පිරිහුනේ නැත .

මෙවර තමා හමුවේ ඇති අභියෝගයට  ද ඔහු හොඳින් මුහුණ දෙන බවට සැකයක් නැත.  අවෛරයේ  හෝරාව යනුවෙන් මාතරින්  ඇරඹී ඇති උද්ඝෝෂණය ඊට නිදසුනකි.  පන්සලෙන් මංගල ඉවත් කරන්නට ඇතැමුන් උත්සාහ කළ ද මංගල සමග සැබෑ භික්ෂූන් සිටින බවද සියල්ලටමත්  වඩා මංගල නිවැරදි බවත් මංගල තනි නොවන බවත් පෙන්වන ජන රැල්ලක් ඔහු සමග ඇති බවක් අවෛරයේ හෝරාවෙන් පැහැදිලිවේ.  ගැටලුව ඇත්තේ මංගලගේ දේශපාලන පෞරුෂය අනෙකුත් දේශපාලකයනට නොතිබීම තුළ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *