වෙසක් කූඩු හා පොලිස් කූඩු – සිරිසේන රාජපක්ෂ

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය දිනවල කළහකාරි සිදුවීම් වලට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගනු ලැබූ 32 නෙක්ම මැයි 22 දා ඇප ලබා දෙනු ලැබිණ. සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තන්ට ඇප ලබාදීම නීතියටත් මානව හිමිකම් වලටත් අනුව සිදුවිය යුතු දෙයකි. ඒ පිළිබඳ සටහන තැබුවේ වෙනත් කරුණක් ගැන සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිවය. ඒ මෙසේය.

සත්තික සත්කුමාර නමැති ලේඛකයෙක් මේ ලියන මොහොතේත් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටී. හේතුව වන්නේ ‘අර්ධ’ යන නමින් යුතු කෙටිකතාවක් ලියා මුහුණු පොතෙහි පළකිරීමය.

එම කෙටිකතාවට විරුද්ධව පැන නැගුණු ආගමික විරෝධයක් හේතුවෙන් සත්තික අත්අඩංගුවට ගනු ලැබිණ. එහිදී පොලීසිය ඔහුට නඩු ගොනුකරනු ලැබුවේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සුම්මුතිය පිළිබඳ පනතය. එම පනත අනුව වෙනස් ලෙස සැලකීම එදිරිවාදිත්වය හෝ ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නාවූ ජාතික වාර්ගික හෝ ආගමික ද්වේශයට පක්ෂව කටයුතු කිරීම යන චෝදනාව ශක්තික සත්කුමාරට එල්ලකර තිබේ. නමුත් ඒ කතාවෙන් එල්ල වූ වාර්ගික ද්වේශයක් හෝ වාර්ගික ගැටුමක් ද නැත.

කෙටිකතාවක් ලිවීම යනු කඩ ගිනිතැබීම, ආගමික ස්ථානවලට පහරදීම යන සියල්ලට වඩා බරපතළ වරදක්ද යන පැනය කෙනෙකුට ඇති විය හැක්කේ දැනට මාසයකටත් වඩා වැඩි කාලයක් ශක්තික සත්කුමාර අත්අඩංගුවේ සහ රක්ෂිත බන්ධනාගාර ගතව ගත කරන අතර පසුගිය දා මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට සම්බන්ධනැයි අත්අඩංගුවට ගන්නා ලද පිරිසක් ඇප ලබා නිවෙස් වලට යාම නිසාය. අපගේ අදහස අනුව ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනුණු  ආසන්න දිනයක මහනුවර දී ද දෙදෙනකු පොලීසිය විසින් අක්අඩංගුවට ගන්නා ලදී. හේතුව වශයෙන් දක්වා තිබුණේ උඩරට මුල් ඇඳුම් වලින් සැරසී සමලිංගික දර්ශන රූපගත කිරීමය. පැමිණිල්ල ලැබී තිබුණේ මහනුවර ප්‍රදේශයේම නිලමේ වරයකු ගෙනි. පසුව දැනගන්නට ලැබුණු තොරතරු අනුව එහි දී සිදුවී තිබුණේ චිත්‍රපට සංස්ථාවේ අවසරය ද ඇතිව කෙ‍රුණු රූපගත කිරීමකි. ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටියාය කියා කතක් අත්අඩංගුවට ගනු ලැබුණේ ද නුදුරු දිනයද දී ය. ඇත්තෙන්ම එම ඇඳුමේ තිබුණු රටාව ධර්ම චක්‍රය නොවේ. ඒ අනුව එකී අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් කරුණු සොයා නොබලා කරන ලද එකක් බව පැහැදිලිය. එකී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් අදාළ කාන්තාවට සිදු වූ අපහසුතාවට, අපහාසයට මානව හිමිකම් කඩවීමට වගකීමට කෙනෙක් ඇත්තේ නැත.

එක්තරා තරුණ පිරිසක්, බෞද්ධ සහ කිතුණු ආගමික සහයෝගීතාව මතුකර දක්වනු පිණිස වෙසක් කූඩු සමූහයක් තනන ලදී ඒවාහි ඔවුන් ධර්ම චක්‍රය සහ කුරුසිය නිරූපණය කරනු ලැබ තිබුණේ ආගමික සංහිඳියාව දක්වන අරමු‍ණින් යුතුවය. එහෙත් එක්තරා පිරිසක් (ඊට භික්ෂුවක් ද ඇතුළත් බව කියැවිණ) එම වෙසක් කූඩුව බුද්ධාගමට අපහාසයක් වන බව පවසා පොලීසියට පැමිණිලි කරන ලදී. පොලිසිය මැදිහත්ව එම වෙසක් කූඩු ගලවා ඉවත් කර තිබුණි.

ආගමික සහජීවනය ඉස්මතු කිරීමේ අරමුණ ඇතිව පිරිසුදු චේතනාවෙන් වෙසක් කූඩු නිර්මාණය කළ තරුණ පිරිසගේ උත්සාහය ඵල රහිත විය. ඉහත කී කරුණු සියල්ල අනුව පැහැදිලි වන්නේ, මෙරට පොලීසිය ලවා ඕනෑම පටු අරමුණක් ඉටුකර ගැනීමට ඕනෑම පුද්ගලයකුට හැකි තත්ත්වයක් මේ වන විටය උදා වී ඇති බවයි.

ශක්තික සත්කුමාර ගේ කෙටි කතාව සම්බන්ධව ගත් කළ එම කෙටි කතාවට විරුද්ධව පැමිණිලි කළ පිරිසගේ මතය අනුව ලේඛකයා අත්අඩංගුවට ගෙන නඩු ගොනුකිරීම හැර ඒ ගැන මධ්‍යස්ථ සොයා බැලීමකට පොලීසිය යොමු වී නැති බව පැහැදිලිය. මහනුවර රූ ගත කිරීම සම්බන්ධයෙන් ද අවම වශයෙන් එම රූ ගත කිරීමට චිත්‍රපට සංස්ථාවෙන් ලබාදුන් අවසරය පිළිබඳ සලකා බැලීමක් හෝ පොලීසිය පාර්ශ්වයෙන් සිදු වී නැත. ධර්මචක්‍රය සහිත කාන්තා ඇඳුම සම්බන්ධයෙන් තත්ත්වය ද ඊට නොදෙවෙනිය.

වෙසක් කූඩු සම්බන්ධ පුශ්නයේ දී පවා පොලීසිය කටයතු කළේ බද්ධිමත්ව නොවේ. බුදු දහමේ ඉගැන්වෙන මූලික කරුණක් වන්නේ කර්මය තීරණය වන්නේ චේතනාව මත ය යන්නය. ඒ අනුව බුද්ධ ධර්මය අනුව ගත්ත ද එම තරුණ පිරිස එම වෙසක් කූඩු කිර්මාණය කර ඇත්තේ ආගමික සහජීවනය ගොඩනැඟීමේ පවිත්‍ර චේතනාවෙන් යුතුව ය. එකී වෙසක් කූඩු ගැන පැමැණිලි කරන ලද පිරිස නිර්මාණාත්මක චින්තනය හෝ කලාත්මක ගුණය පිළිබඳ අංශු මාත්‍ර දැනුමක්වත් නැති ඔලමොට්ටල ආවේගශීලි පිරිසක් බව බැලූ බැල්මට පැහැදිලිය. වෙසක් කූඩුවක් යනු සැරසිල්ලක් මිස ආගමික සංඛේතයක් නොවේ. එවැනි නිර්මාණයක දී ආගමික සහජීවනය සංඛේතවත් කරන්නට ධර්මච්‍ක්‍රය සහ කුරුසිය යොදා ගැනීම නිර්මාණාත්මක අදහසකි. ඇත්ත වශයෙන් කියන්නේ නම් එම වෙසක් කූඩු වලට සර්ව ආගමික බව පිළිබිඹු කිරීම සඳහා ඉස්ලාම් හින්දු සංඛේතත් යොදා ගැනුණේ නම් වඩාත් අර්ථාන්විත වන්නට තිබුණි. කුරුසයක් ධර්මචක්‍රයක් තිබීමෙන් බුද්ධාගමට හානිවේය යන අදහසක් භික්ෂුවක වේවා අන් අයකු වේවා කී පමණින් ඒක පාර්ශවිකව කටයුතු කරන්නට පොලීසියට අයිතියක් නැත. පොලීසිය බුද්ධිමත්ව කටයුතු කළේ නම් මුලින්ම කළ යුතුව තිබුණේ වෙසක් කූඩු වලට විරුද්ධව පැමිණිලි කළ අයගේ මතය අනුව කටයුතු කිරීම නොවේ. යම්කිසි පැමිණිල්ලක දී දෙපාර්ශ්වයේම එනම් පැමිණිල්ලේ සහ විත්තියේ යන දෙපිරිසගේන්ම කරුණු පොලීසිය විසින් සලකා බැලිය යුතුය. නමුත් එවැන්නක් සිදු වී නැත. අවම වශයෙන් ඉහත වෙසක් කූඩු නිර්මාණය කිරීමේ අරමුණවත් සලකා බලා නැත. එසේ සලකා බැලුවේ නම්, පොලීසිය කළ යුතුව තිබුණේ එම වෙසක් කූඩු වලින් ආගමික සහජීවනය ගොඩනැගෙන බව පැමිණිල්ල කළ පිරිසට පහදා දීමය. ධර්ම චක්‍රය හා කරුසිය නොතිබුණේ නම් ඒවාත් අනෙකුත් වෙසක් කූඩු අතර වෙනස් නොමැති බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් අදාළ පොලිස් නිලධාරින්ට නොතිබීම පොලිස් දෙපාර්තමෙන්තුවට ද අගෞරවයකි.

කලකට පෙර දී ‍විදේශික කතක් අත්අඩංගුවට ගැනුණේ සිරුරේ බුදු රුවක් පච්චකොටා ඇති බවට ලැබුණු පැමිනිල්ලකට අනුවය. එම කාන්තාව තමාට පොලිස් අත්අඩංගුවේ දී විඳින්නට සිදු වූ අත්දැකීම් පවසමින් කියා තිබුණේ ඇතැමුන් දිව පෙන්වමින් තමාට ලිංගික යෝජනා කළේය කියාය. බුද්ධාගම රකින්නට ඉදිරිපත් වන අයගේ යථා තත්ත්වය ඒ අනුව පැහැදිලිය. අවසානයේ හෙළි වූයේ කත තම සිරුරේ බුද්ධ රූපයක් සටහන් කරගෙන තිබුණේ බුද්ධ ධර්මයට ඇති කැමැත්ත නිසා බවය. කත නිදහස් විය. ඇය අත්අඩංගුවට ගෙන පොලීසිය රටට කළ අපහාසයෙන් රට මුදාගන්නට කිසිවකු නැත.

ඉහත අකාර අත්අඩංගුවට ගැනීම් සහ බන්ධනාගාර ගත කිරීම් තවදුරටත් සිදු වන්නේ නම් පොලීසිය කෙරෙහි මහජන විශ්වාසය අද පවතිනවාටත් වඩා පිරිහෙනු ඇත. පොලීසිය අතින් සිදුවන මෙවැනි අත්තනෝමතික ක්‍රියා පිළිබඳ පොලිස් කොමිසම පොලිස්පති ආදීන්ගේ අවධානය වහා යොමු විය යුතු වුවද මුනිවත රැකීම හැර අන් දෙයක් ඔවුන් අතින් ද සිදුවන බවක් පෙනෙන්නට නැත.

අද පවතින පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවට පොලිස් හමුදාවක් ‍බවට පත්ව ඇති බව පෙනේ. ඊට හේතුව නම් පසුගිය යුද සමයේ බඳවා ගැනුණු පොලිස් නිලධාරින්ට නිසි ආකාර පොලිස් පුහුණුවක් නොලැබීම යැයි අනුමාන කරන්නට පුළුවන. නමුත් යුද්ධයෙන් පසුව වසර 10ක් ගෙවෙන තුරුත් පොලීසියට නීතිය සහ නිවැරදි පොලිස් රාජකාරිය ගැන අවබෝධයක් නොතිබීම සමාව දිය නොහැකි වරදකි. පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා මැදිහත්ව නිවැරදිව රාජකාරිය කර ආකාරය පිළිබඳ දැනුම පොලීසියට වහා ලබා දිය යුතුව ඇත.

ඉහත සඳහන් කළ පොලිස් ක්‍රියා මූලික අයිතිවාසිකම් කඩ කිරීම් වන බැවිනි. ඒවාට විරුද්ධව අදාළ පිරිස් නඩු මගට ගි‍යහොත් විශාල වන්දියක් ගෙවන්නට පොලීසියට සිදු වනු ඇති බව ද මතක් කළ යුතුය.

සිරිසේන රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *