අඳුරු කාලයක සටහන් -සම්පත් අමරසිංහ
උදෑසන 8.30 සිට රාත්‍රී 9.30 දක්වා කාල පරාසයය තුළ විදුලිය කප්පාදු කරන කාල වේලාවන් දැක්වීමට තරමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය කරුණාවන්ත වී තිබේ. දැන් එකී වේලාවන් තුළ මණ්ඩලයේ විදුලිය නැතිව ජීවත්වීමට හෝ විදුලිය ඇත්තේම නැතිව ජීවත් වීමට යන දෙකෙන් එකක් තෝරා ගන්නට ජනතාවට පුළුවන. එසේ විදුලිය කපන වේලාවන් ජනතාවට දක්වන්න විදුලිබල මණ්ඩලය කාරුණික වූයේ, නොදන්වා විදුලිය කැපීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිසම පොල්ල අතට ගත්තාට පසුවය යන්නද මෙහිදී සටහන් කළ යුතුය. ජනතාවට නොදන්වා විදුලිය කැපීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය රටත් ජනතාවත් සම්බන්ධයෙන් කල්පනා කරන තරම සහ ආකාරය වටහා ගත හැකි බව ද එලෙස ම සටහන් කර නොතබන්නේ නම් අඩුවකි
මෙරට දහවල් කාලයේ දී විදුලිය ඉල්ලුම මෙගාවොට් 2350 ක් සහ රාත්‍රී කාලයේ විදුලිය ඉල්ලුම මෙගාවොට් 2600ක් බවද කියවේ. දැනට ක්‍රියාත්මක වන විදුලිය කැපීමට ප්‍රකාශිත හේතුව වන්නේ දහවල් කාලයේ ඉල්ලුමෙන් මෙගාවොට් 400 ක් සහ රාත්‍රී කාලයේ ඉල්ලුමෙන් මෙගා වොට් 300ක් සැපයීමට මණ්ඩලයට නොහැකිව තිබීමයි.
අවශ්‍යතාව සපුරා ගැනෙන ආකාර වන්නේ ජල, ගල් අඟුරු, ඩීසල් හෝ ඉන්ධන, පුනර්ජනනීය යන ආකාර වලිනි. වීදුලිය අවශ්‍යතාවයෙන් 24 %ක් ජලයෙන් ලබා ගන්නා අතර, ගල් අඟුරු මගින් 34.8 % ක් සපයා ගැනේ. ඩිසල් මගින් 34% ක් සහ පුනර්ජනනීය මාධ්‍ය මගින් 10% ක් ද සැපයේ .
දැනට පවතින විදුලි කැපීමට බලපාන හේතු දෙකක් ලෙස සඳහන් වන්නේ නියඟය හේතුවෙන් විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහළ යාමත්ය. නිදසුනක් වශයෙන් රන්ටැඹේ, උකුවෙල , කුකුලේ ගඟ විදුලි උත්පාදනය මේ වන විට කෙරෙන්නේ රාත්‍රියේ දී පමණි. එම ජලාශවල ජල මට්ටම 30% කින් පහළ බැස තිබීම එයට හේතුවයි.
කාසල්රී ජලාශයේ ජල මට්ටම 9% දක්වා පහත බැස ඇති බැවින් ඒ විදුලිය ජනනය මෙගාවොට් 165 කට සීමාකර තිබේ. වියළි කාල කාලගුණය නොතිබුණේ නම් කාසල්රි මේගාවොට් 378 ක් පමණ විදුලි ජනනයට දායක වේ. ජලය පිරුණු විට මෙගාවොට් 120 ක ට දායකවන සමනලවැව ජලාශයේ ජල ධාරිතාව 17% ක් දක්වා පහළ බැස ඇති බැවින් දැන් ඉන් ජනනය කරන්නේ විදුලිය මෙගාවොට් 40ක් පමණ ප්රමාණයකි.
අනෙක් අතින් උණුසුම් කාලගුණය හේතුවෙන් විදුලිය ඉල්ලුම ඉහල ගොස් තිබේ. ඊට හේතුව විදුලි පංකා වායුසමන යන්ත්‍ර ආදියෙහි ක්‍රියා ක්‍රියාකාරීත්වය ජනතාව වෙනදාට වැඩියෙන් අපේක්ෂා කිරීමයි. විදුලිය කැපීම එදිනෙදා ජන ජීවිතයටත් ආර්ථිකයටත් එකසේ බලපානු ලබන්නකි. නිදසුනක් වශයෙන් විදුලිය නොමැති විට රෝහල්ක x-ray කිරණ ඊසීජී පරීක්ෂණ කල නොහැකිය. නියමිත පරිසර උෂ්ණත්වය තබා ගත යුතු ඖෂධ ආදිය සඳහා විදුලි බලය බලපානු ලැබේ. වෙළඳසැල්වල ඇති අයිස්,කේක්, මස් මාළු ආදිය නාස්ති වීමටද විදුලි බලය නොමැති කම බලපානු ඇත. විදුලිය නොමැති බාබර් සාප්පුවක් වත් කටයුතු කළ නොහැක්කේ කොන්ඩ රැවුල කැපීම පවා මේ වන විට සිදු වන්නේ විදුලි උපකරණ මගින් වන බැවිනි. ඒ අනුව යම් කාලයකට විදුලිය විසන්ධි වීම් යනු අදාළ කාලය තුළ රටම අක්රීයවීමකට සමාන දෙයකි.
මෙරට වාර්ෂික වාර්ෂික විදුලිය ඉල්ලුමේ වැඩිවීම මෙගාවොට් 150ක් පමණ වන බව කියැවේ. එනම් සෑම වසරකම ජාතික විදුලිය පද්ධතියට අලුතින් මෙගාවොට් 150ක් එකතු කළ යුතු බවයි. නමුත් එක්දහස් නවසිය අසූ ගණන් වල මහවැලි ව්‍යාපාරය සමඟ ජාතික විදුලි බලයට එක්වූ විදුලියට පසුව 2014 දක්වා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට තිරසාර විදුලිය එක් කිරීමක් සිදු වූයේ නැත.
මහවැලි ව්‍යාපාරය මගින් මෙරට විදුලි ක්ෂේත්රයේ විධිමත් පිම්මක් පැන්නා වුවද, විවෘත ආර්ථිකයත් සමග නව කර්මාන්ත නිදහස් වෙළඳ කලාප ආදිය ආරම්භ කිරීම; නිර්බාධවාදී වෙළඳ පිළිවෙත යටතේ විදුලි උපකරණ භාවිතය ප්‍රසාරණය වීම ආදි හේතු නිසා, 1994 පමණ වන විට ජාතික විදුලියට අලුතින් එකතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී තිබිණි. ගල්අඟුරු බලාගාර පිළිබඳ සංකල්පය මුලින්ම කරළියට එන්නේ ද මේ වකවානුවේදීය.
එහෙත් එය යථාර්ථයක් වූයේ නැත. එසේ හෙයින්ම 1994 වසරේ චන්ද්‍රිකා ආණ්ඩුවට විදුලිය කැපීමකට යාමට සිදුවිය. එකී තත්ත්වය තුළ එම ආණ්ඩුව විදුලිය අර්බුදය විසඳීමට නොයෙකුත් යෝජනා කළ නමුත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ 1996 අවසන් කාලය වන විට දරුණුතම විදුලිය කැපීමකටත් යාමට සිදුවීමය. 1990 ඒ ඇසූ ප්‍රශ්නයට ආණ්ඩුව ගත් විසඳුම වූයේ විදෙස් සමාගම් වලින් ජංගම බලාගාර ලබාගැනීමයි. 2000- 2001 වසරේ විදුලිය අර්බුදය නැවත මතුවූ අතර එහිදී ගත් විසඳුම් වූයේ විසඳුම් පියවර වූයේ යළි යළිත් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම්යි. ලංකා විදුලිබල මණ්ඩලය එම සමයේ පාරිභෝගික ජනතාවට විදුලිය ඒකකයක් ලබා දුන්නේ රුපියල් 4.50 ක ට ය. එහෙත් එම විදුලි ඒකකය පෞද්ගලික අංශය මිලදී ගන්නෙ රුපියල් 12බැගිනි.
මෙරට විදුලිය අර්බුදය විසඳීම සඳහා මෙගාවොට් 300ක ඩීසල් බලාගාරයක් ලබා ගැනීමට උත්සාහ කළ නමුත්, එය ඉටුවූයේ නැත. එය ක්‍රියාත්මක මට්ටමට නොපැමිණීමට එවක පැවති උතුරු නැගෙනහිර යුද්ධය සහ දේශපාලන හැලහැප්පිලි බලපෑවා වන්නටද පුලුවන. කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය වූයේ ද 1994 දී බිලියන 4 ක ලාභයක් ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය එක්දහස් 1998 වනවිට බිලියන 4 ක් පාඩු ලබන තත්ත්වයට ඇද වැටීමය. පසුව බලයට පත් වූ රාජපක්ෂ ආණ්ඩුව විදුලිබලයේ පැවැති ගැටළුවට විසඳුමක් වශයෙන් ගල් අඟුරු බලාගාරයක් ඉදි කළ නමුත්, මෙම බලාගාරයෙන් ද බලා බලාපොරොත්තු උණු තරමට ප්‍රතිඵල ලබා ගන්නට හැකිවූයේ නැත. හේතුව නොරොච්චෝලේයනු දුවනවාට වඩා බිඳවැටෙන බලාගාරයක් වීමය. නිදසුනක් වශයෙන් නොරොච්චෝලේ බිඳවැටීම් හේතුවෙන් 2016 වර්ෂයේ දී මෙරට ජනතාවට පැය නවයක් අඳුරේ සිටීමට සිදුවීම දක්වන්නට පුළුවන. මේ දිනවල පවතින විදුලිය කැපීම ආරම්භ වූයේද නොරොච්චෝලේ බලාගාරයේ බිඳවවැටීමක් සමඟිනි.
මේ දිනවල පවතින විදුලිය කැපීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති මහජන උපයෝගිතා කොමිසම ආදිය එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට බෝලය පාස් කරමින් ඉන්නා බවක් දක්නට ලැබේ විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ විදුලි අර්බුදය ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවයි.
ඊට අමතරව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ජනතාවට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපයීමට නොහැකි වීමේ වගකීම් ආණ්ඩුව බාරගත යුතු බව ය. එහිදී අගමැතිවරයා වැඩිදුරටත්ටත් පවසා තිබුණේ 2015 අගෝස්තු මාසත් 2018 ඔක්තෝම්බර් මාසයත් අතර ඉන්දියාව ජපානය චීනය යන රටවල් ලංකාවේ වායු බලාගාර ඉදි කරන්නට එකඟතාවට පැමිනි නමුත් මෙම බලාගාරය තුනේ ඉදිකිරීම් සිදුවී නැති බවය. එසේ වී ඇත්තේ කාගේ අදක්ෂතාව නිසා ද යන වග අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ ආණ්ඩුවේ මැති ඇමතිවතිවරුන්ගෙන් වීිමසා ඇති බව ද සඳහන් වේ. ආණ්ඩු අතර ගිවිසුම් මත මෙම බලාගාර ඉදිකිරීම ආරම්භ කළේ නම් ඒ වන විට ඒවාහි වැඩ අවසන් කිරීමට ද තිබුණු බව ද අග්‍රාමාත්‍යවරයා කියා තිබුණි.
අග්‍රාමාත්‍යවරයා කියන කරුණුු අනුව වරදක් සිදුවී තිබේ. වරද කාගේ වුවද ඊට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ මෙරට ජනතාවට ය. පාඩුව සිදුවී ඇත්තේ මෙරට ආර්ථිකයට ය. විදුලිය උත්පාදක යන්ත්‍ර නොමැති සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් වැන්නන්ට මෙකී විදුලිය කප්පාදුව බරපතළ ආකාරයට බලපා තිබේ. මෙවැනි රටකට සංචාරකයන් යළි එන්නට දෙවරක් සිතා බලනු ඇත. එය ආර්ථිකයට දරුණු පහරකි. ආයෝජකයන්ට කර්මාන්තකරුවනට වියදම් අධික කිරීමට විදුලි කප්පාදුව හේතු වන්නේ ඉන්ධන මගින් විදුලිය ජනනය කරන්නට ඔවුනට සිදු විය හැකි බැවිනි. මෙවැනි වටපිටාවක මෙරට ආයෝජනය කිරීම සම්බන්ධව ව්‍යාපාරිකයන් ද දෙවරක් සිතනු ඇත.
2015 2018 කාලයේ ඉදි කරන්නට තිබුණු බලාගාර ඉදි නොවීම සම්බන්ධයෙන් සොයා නොබැලූ තමා ද වැරදි කරුවෙකු බව අග්‍රාමාත්‍යවරයා කියූ බවක් දැන්ගන්නට නැත. එසේම බලාගාර ඉදි නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන්ට දඬුවම් කිරීම් වැනි කිසිවක් ගැන අගමැතිවරයා කියා නැත. අවම වශයෙන් මෙතරම් දරුණු විදුලිය අර්බුදය තුළ වත් ඔවුන් ගැන විමර්ශනයක් නැත. ඒ අතරතුර අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ ආයෝජන කලාප වලට මුල්ගල තබමින් සිටී. ඒවා ආරම්භ කරන්නට විදුලිය රටින් ගෙන්නන්න සිතා ඉන්නවාද දන්නේ නැත. ආයෝජන කලාප වලට මුල්ගල් තබන්නට පෙර විදුලි බලාගාර එක දෙකකට මුල්ගල් නොතබුවාහොත් ආයෝජන ද කර්මාන්තපුර ද අවසන් වනු ඇත්තේ හබක් වීමෙනි
බලාගාරවලට මුල්ගල් තැබීම්ටත් කලින් එනවා යැයි කියූ බලාගාර නතර කළ අය සොයා දඬුවම් කිරීම්ට වගබලා ගැනීමත්, ඔවුන් අදාළ තැනින් ඉවත් කිරීම්ත් සුදුසුය. එහෙත් ඒ එවැන්නක් සිදුවන බවක් ද පෙනෙන්නට නැත.
විදුලි බල ඇමතිවරයා කියන්නේ ගැටළුවට හේතුව කුමක් වුව ද ඉදිරියට ගැටලුව නැවත ඇතිවන්නට ඉඩ නොතබන බවය. ඒ අදහස් ඉතා හොඳ එකකි. ඒ ගැටලුව වන්නේ විදුලිය කැපීමකදී ඔය වැනි කතා කියූ පළමු විදුලි ඇමතිවරයා මොහු නොවීමයි. වැස්ස වැටී ජලාශ පිරුණු විට විදුලිය කැපීම අමතක වන්නේනම් ඇමතිවරයකු රටට අවශ්‍ය නැත. වත්මන් විදුලි ඇමතිවරයා හෝ ඒ බව තේරුම් ගෙන මණ්ඩලයටත් ජනතාවටත් වාසිදායක සැලසුමක් ක්‍රියාත්මක කරන්නේ නම් යහපත් ය. ඒ සඳහා නිවැරදි සහාය ඇමතිවරයාට ලබාදීම ආන්ඩුවේ වගකීම් වන්නේය.
