ශ්‍රී ලංකාවේ විදුලිබලය: ගෙවීමට සරිලන සේවා ලබාගැනීමේ හැකියාව – මහාචාර්ය රොහාන් සමරජීව
ක්ෂුද්‍ර ව්‍යවසායයන් එසේත් නැතහොත් ඉතා කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන් රටකට අතිශයින් වැදගත් බව අපගේ විශ්වාසයයි. සාර්ථකත්වය අත්කරගැනීමට සමත්වුවහොත් මේ ක්ෂුද්‍ර ව්‍යවසායයන් පළමුව සුළු පරිමාණ ව්‍යවසායයන් බවට ද අනතුරුව මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් බවට ද පත්වෙන විට සංවර්ධනය සිද්ධවේ. සේවකයින් හතර දෙනෙකුගෙන් අරඹන ව්‍යාපාරය හතලිස් දෙනෙකුට රැකියා සපයන්නක් බවට විකාශනය වන විට නව රැකියා අවස්ථා උත්පාදනයවීම සිද්ධවේ.
ජංගම දුරකතන සේවා සපයන්නවුන් සහ විදුලිබලය බෙදාහරින සමාගම් විසින් දිළිඳු ක්ෂුද්‍ර ව්යවසායයකයින්ට සේවා සපයනු ලබන්නේ කෙසේදැයි සොයාබැලීමේ අරමුණින් ලර්න්ඒෂියා ආයතනය විසින් අහඹු නියැදි පර්යේෂණයක් දියත් කරන ලදී. කලාපයේ රටවල් තුනක, එනම් බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සවිමත් සහ දුර්වල වශයෙන් වර්ගීකරණය කළ නගර මේ සඳහා යොදාගනු ලැබින. සමාජ ආර්ථික වර්ගීකරණයේ පහළ මට්ටමට අයත් ක්ෂුද්‍ර ව්‍යවසායයන් 3,180 ක් නියැදියට ඇතුලත් විය (සේවකයින් 0 සිට 9 දක්වා සේවයේ යොදවාගන්නා වශයෙන් අර්ථදක්වා ඇති). මේ හැරුණුවිට, ගුණාත්මක පර්යේෂණයක් ද සිදුකරනු ලැබින.
භාවිතය සහ ගෙවීම්
ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් සිය ව්‍යාපාරමය කටයුතු සඳහා විදුලිබලය යොදාගන්නා බව පර්යේෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් පෙනී ගියේය. ඉන්දියානු ප්‍රතිචාරවලින් පෙනීගියේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ව්‍යාපාරය සඳහා ස්ථිර ස්ථානයක් නොමැති හෙයින් විදුලිබලය මත ඔවුන්ගේ යැපීම අඩු බවයි. ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ නියැදියට අයත් වූ ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සියලු දෙනාම පාහේ ප්‍රධාන ජාලයෙන් සැපයෙන විදුලිබලය මත යැපෙන බව පෙනින. විදුලි බලය පාවිච්චිකරන ඉන්දියානු ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් සියයට 35 ක් පමණ බැටරි හෝ ඩීසල් විදුලි උත්පාදක හෝ සූර්ය බලශක්තිය යොදාගනිමින් තමනට අවශ්‍ය විදුලි බලය සපයා ගනිති.
ශ්‍රී ලංකාවේ දිළිඳු ක්ෂුද්‍ර ව්‍යවසායකයෝ විදුලිබලය සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ පවතින තත්වයට සාපේක්ෂව බලනකල දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරති. ඉන්දියාවේ සහ බංගලාදේශයේ මසකට වියදම් කරන මුදල ඇමෙරිකානු ඩොලර් 10ට අඩුය. ලංකාවේ වියදම ඇමෙරිකානු ඩොලර් 23ක් පමණවේ.
ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරම් විදුලි බලය ඇණහිටීම්වලට මෙන්ම වොල්ටීයතා උච්චාවචනයට මුහුණ දෙන්නට ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර ව්යවසායකයිනට සිදු නොවුවද, එම කරදරවලින් ඔවුන් පූර්ණව නිදහස් වී නැත.
එහෙත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් එතරම් පැමිණිලි කරන බවක් නොපෙනින. එම ප්‍රශ්නවලට මුහුණ දුන් අය අතරින් පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ සියයට 25ක් පමණි.
විදුලිබලය ඇණහිටීම් සිදුවූ අවස්ථාවලදී භාවිතකිරීම පිණිස බංගලාදේශ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් සියයට 35 පමණ සංඛ්‍යාවක් සතුව ඩීසල් විදුලිජනක යන්ත්‍ර තිබේ. ඉන්දියානු ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් සියයට 20 ක් පමණ විදුලිබලය ඇණහිටීම් වලදී යොදාගැනීම පිණිස අපවර්තක (inverter) තාක්ෂණයෙහි ආයෝජනය කර ඇත. එහෙත්, ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් වැඩි කොටසක් මෙවැනි කිසිදු තාක්ෂණයකට වියදම් කර නැත. විදුලිබලය ඇණහිටීම්වලට මුහුණදීම පිණිස කිසිදු විකල්පයක් තමන් සතුව නොමැති බව සියයට 41 ක් පැවසූහ. සියයට 36 ක් වන ඊළඟ කොටස පැවසුවේ මේ සඳහා ඉටි පන්දම් යොදාගන්නා බවයි.
ඉහත තොරතුරුවලින් පැහැදිලිවන පළමු කරුණ නම් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් (සහ අනෙකුත් සියළුදෙනාම) බංගලාදේශයේ සහ ඉන්දියාවේ ගෙවනු ලබන මිලට වඩා වැඩි මිලක් විදුලිය සඳහා ගෙවන බවයි. දෙවැන්න පැය 24 පුරා විදුලි සැපයුම පිළිබඳව බැඳීමක් නොමැති අනෙක් දෙරටේ මෙන් නොව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට විදුලිය ඇණහිටීම් වලදී විදුලිබලය සපයාගන්නා වෙනත් ක්‍රම සඳහා ආයෝජනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ වූ කලී ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන සමස්ත රටටම පැය 24 පුරාම විදුලිය ලබාදීමේ ප්රතිපත්තියෙහි පැහැදිලි ප්රතිලාභයකි.
සියළුම ක්ෂුද්‍ර ව්‍යවසායකයින් පවසන්නේ විශ්වාසය තැබිය හැකි විදුලි සැපයුම අත්‍යවශ්‍ය බවයි.
අපගේ පර්යේෂණයට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් සියයට 60 ක් පමණ පැවසූයේ විදුලිය ඇණහිටීම් පිළිබඳව තමනට කිසිදු ආකාරයක පූර්ව දැනුම්දීමක් සිදු නොවන බවයි. දැනුම්දීමක් ලැබෙන්නේ යැයි පැවසූ කණ්ඩායමෙන් සියයට 60 කගේ පමණ දැනුවත්වීමේ මාධ්‍යය කොළඹින් ක්‍රියාත්මක වන රූපවාහිනිය හෝ ගුවන් විදුලියයි. වයඹ පළාතේ ප්‍රතිචාර දැක්වූවනට අනුව විදුලිබල මණ්ඩලය විසින් සිදුකරන ප්‍රසිද්ධ නිවේදන ඔවුන්ගේ දැනුවත්වීමේ ප්රමුඛ මාධ්‍යයයි.
කළහැක්කේ කුමක් ද?
විදුලිබලය ඇණහිටීම ක්ෂුද්‍ර ව්යවසායකයිනට බරපතල ගැටළුවකි. පර්යේෂණය අතරතුරදී අප සමග කළ සාකච්ඡාවකදී එක් තරුණියක් කියා සිටියේ රූපලාවන්‍යාගාරයක් වූ සිය ව්‍යාපාරයෙන් විදුලිය නොමැති අවස්ථාවලදී කිසිදු සේවයක් ලබාදිය නොහැකි බවයි. එබැවින් ඇයට එම කාලය තුල ආදායම අහිමිවේ. විදුලිය ඇණහිටීම සැලසුම් කල එකක් නම් ඒ පිලිබඳව ඇය දැනුවත් වී ඇතිනම් එම කාලය මගහැර සිය ගනුදෙනුකරුවන්ට නැවත කාලය ලබාදීමට ඇයට හැකිවේ. සැලසුම් නොකල විදුලිය ඇණහිටීමක් සිදුවූ අවස්ථාවක පවා නැවත විදුලිය සැපයුම ලබාදියහැකි වේලාව පිළිබඳව ඇය ක්ෂණිකවම දැනුවත් කරනු ලැබිය හැකිනම් සිය දුරකතනය භාවිත කරමින් ගනුදෙනුකරුවන්ට ඉක්මනින් නව වේලාවක් ලබාදීමට ඇයට හැකිවේ. මේ ආකාරයෙන් ක්රියාකලහැකි නම් ව්‍යවසායකයාගේ මෙන්ම ගනුදෙනුකරුවාගේ ද කටයුතු අවුල්වීම අවම කලහැකිය.
ඇණහිටීම් සිදුවූ අවස්ථාවලදී ගැටළුවේ ප්‍රමාණය විදුලි සැපයුම්කරුවාට තීරණය කරගැනීමේ අපහසුවක් ඇතිවන්නේ බොහෝ විදුලි පරිභෝජකයින් මේ අවස්ථාවලදී දෛවවාදීන් බවට පත්වෙමින් විදුලිය බිඳවැටීම පිළිබඳව අදාල ස්ථානයට පැමිණිලිකිරීමට කටයුතු නොකිරීම හේතුවෙනි. ඒ හැරුණුවිට, එවන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පවතින යාන්ත්‍රණයන් ද දුර්වලය. කෙටි අංක භාවිත කරමින් ඇමතිය හැකි ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ සීමාසහිත ප්‍රදේශයන්හි පමණක් වන හෙයින් දිගු දුරකතන අංක මතක තබාගැනීමට පාරිභෝජකයිනට සිදුවේ. විදුලිය ඇණහිටීම ප්‍රදේශ කිහිපයක එකම අවස්ථාවක සිදුවියහැකි හෙයින් විදුලිබල මණ්ඩලයේ හා ලෙකෝ ආයතනයේ දුරකතන කාර්යබහුල වීමට ඉඩ තිබේ. බිඳවැටීම පිළිබඳව පැමිණිලි කිහිපයක් ලැබීමෙන් අනතුරුව ගැටළුව විසඳීමට ප්‍රමුඛත්වය දෙන ආයතන සේවකයින් දුරකතනයට පිළිතුරුදීම නොතකාහරින බව ද වාර්තාවේ. සමහර අවස්ථාවලදී දුරකතනය පසෙකින් තබන බව ද වාර්තාවී ඇත.
අපට පෙනෙන ආකාරයට දැන් සියළුදෙනාම අතම පාහේ පවතින ජංගම දුරකතනය ඔස්සේ විසඳුම සොයා ගතහැකිය. සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රසිද්ධ දැන්වීම් සහ මාධ්‍ය නිවේදන වලට අමතරව කෙටි පණිවිඩ යැවීමේ ක්‍රමයක් අනුගමනය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට සහ ලෙකෝ ආයතනයට යෝජනා කරනු කැමැත්තෙමු. යොදාගැනෙන අනෙකුත් මාධ්‍යයන් මෙන් නොව හදිසි බිඳවැටීමකදී පවා කෙටි පණිවිඩ පලදායී ලෙස භාවිත කලහැක. විදුලි සැපයුම නැවත ලබාදිය හැකි දල වේලාව වැනි තොරතුරු කෙටි පණිවිඩ මගින් දැනුම්දීමක් කළහැකි නම් ප්‍රාදේශීය කාර්යාල හෝ ඇමතුම් මධ්‍යස්ථාන අමතන්නට නිෂ්පල ප්රයත්නයක යෙදීමෙන් තොරව සිය කටයුතු යළි සකස්කරගැනීමේ හැකියාව විදුලි පාරිභෝජකයාට ලැබෙනු ඇත.
අපේ පර්යේෂණය තුලින් අප ලබාගන්නා පළමුවන පාඩම නම් විදුලි සැපයුම අවිච්ඡින්නව පවත්වාගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය විසින් ප්‍රමුඛතාවය ලබාදිය යුතුය යන්නය. ඉන්දියන් සාගරයෙන් එපිට සිය සමීපතම අසල්වැසි රටවල ජනතාව විදුලිය වෙනුවෙන් ගෙවන මිල මෙන් දෙගුණයකට වඩා මිලක් ශ්‍රී ලාංකික ජනතාව ඒ වෙනුවෙන් ගෙවති. එහෙයින් නොබිඳී විදුලි සැපයුම ලබාගැනීමේ අයිතියක් ඔවුනට තිබේ. කෙසේවුවත්, සමහර විදුලිය බිඳවැටීම් වැලැක්විය නොහැකි බව පිළිගත යුතුය. අප යෝජනා කරන්නේ එම අවස්ථාවලින් ඇතිවිය හැකි නාස්තික බලපෑම් අවම කිරීම පිණිස ජංගම දුරකතනය සතුව ඇති විභවය භාවිත කරන ලෙසය.
ලංකා විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය පාර්ශවයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් මේ සඳහා විරෝධතාවක් නොමැත. ඔවුන් පවසන්නේ සිය පාරිභෝගිකයින් සියළුදෙනාම තමන්ට ජංගම දුරකතන අංක ලබා නොදෙන බවයි. පෝරම පිරවීම වැනි ක්‍රියා පටිපාටි කරදර සහිත හෙයින් එය සරල බවට පත්කරමින් සිය අංක කෙටි පණිවිඩයක් හරහා අදාල ආයතනයට යැවීමේ පහසුකම ඇති කරන ලෙස අපි යෝජනා කරමු.
විදුලිබල සැපයුම් ආයතන සිය සේවාවන් පලදායී ලෙස අලෙවිකිරීමට කටයුතු කලයුතුය. තමන් සතුව ඇති මිලියන පහක තරම් වන පාරිභෝගික සංඛ්‍යාවට දර්ශනීය සහ ප්‍රයෝජනවත් තොරතුරු ඇතුලත් පත්‍රිකා මගින් තොරතුරු සංනිවේදනය කිරීම කලහැකිය. මාසික බිල්පත සමග මේ පත්‍රිකා බෙදාහැරීම පහසුවෙන් කල හැක්කකි. ලබාදෙන ජංගම දුරකතන අංක විදුලිබල සේවාවන්ට ඍජුව සම්බන්ධ සේවා දියුණුකිරීමට විනා අන් කිසිදු කටයුත්තකට යොදා නොගන්නා බවට මේ හරහා ජනතාවට සහතිකයක් ලබාදීමට හැකිවනු ඇත. මේ පණිවිඩය යළි තහවුරු කිරීම සඳහා ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබාදීම ද ප්‍රයෝජනවත් වනු ඇත.
