|

අගමැතිකමයි ආණ්ඩුවයි මහදවල් කොල්ල කෑ රාජපක්ෂලාගෙ මගුල්ගෙදර යෑම ගැන රංජන් රාමනායකගෙන් රනිල්ට දෝස්මුරයක්

අගමැතිවරයා මේ දිනවල වැඩිපුර කාලය යොදවනුයේ ලඟ එන අයවැය සැකසීමේ කටයුතු වලටය. එහිදී ඇමති මංගල මෙන්ම එම නිළධාරීන් සමඟ සාකච්ඡා වට රැසක් පවත්වා ජනතාවට උපරිම සහන හා රටට වේගවත් සංවර්ධනයක් ගෙන ඒමට අදාල තීන්දු තීරණ රැසකට සම්මාදම් විය. ඒ අතර චම්පික රණවක දෙමටගොඩ ඉදිකළ නිවාස 266කට අධික සංඛ්‍යාවකින් යුතු සංකීර්ණයක් විවෘත කිරීමටද අගමැතිවරයා එක්විය. එම අමාත්‍යාංශයම කලුතරදී රු. කෝටි 48ක් වැයකොට ඉදිකළ සහ වාණිජ සංකීර්ණ 2ක්ද පසුගියදා අගමැති අතින් විවෘත විය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේද අයවැයට අදාල තවත් සාකච්ඡා වට කිහිපයකට එක්වීමටය. එහෙත් සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දාට අගමැතිවරයා හමුවිමට පැමිණෙන මැති ඇමතිවරු හා මාධ්‍යකරුවන් හා ගෙවුනු සතියට අදාල සිද්ධීන් පසුවිපරමකට ලක් කිරීමටද ඔහු අමතක කළේ නැත.

“මගේ ඇමතිකම කිසිම වැඩක් කරන්න බැරි තනතුරක් ලෙස දිගටම තියාගැනීම මහනුවර දිසාවේ ජනතාවට කරන අසාධාරණයක්. දැන් අපි ජාතික ආණ්ඩුවට යන්නෙ කවදද?” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ ඍජුවම අගමැතිගෙනි.

“ජාතික ආණ්ඩුවක්ද ශක්තිමත් ආණ්ඩුවක්ද අපි හදන්න ඕනෑ කියල ඉක්මන් තීන්දුවක් ගන්නවා. පිටින් එන ඕනම කෙනෙක් අපේ ප්‍රතිපත්ති පිලිගන්නව නම් භාරගන්නවා. මීට අදාල යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්ටත් යවන්න ලෑස්තියි. ආණ්ඩුව ශක්තිමත් කරන්නේ කවුරු එක්කදැයි ඒ වේලාවට එළිකරමු. ආණ්ඩුව ශක්තිමත් කරගමන් ලක්ෂ්මන්ගෙ වැඩේට මුල්තැන දෙනවා. ඒ එක්කම අනිත් කීපදෙනෙකුගෙ ප්‍රශ්නත් විසඳනවා” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“වතු කම්කරු වැටුප වැඩිකරලත් තාම පොඩි පොඩි උද්ගෝෂන තියනවා. තොන්ඩමනුත් මේක විසඳන්න හවුල්වීම ගැන අපේ අය අතර පොඩි කොස්සක් තියන පාටයි” නවීන් දිසානායක කීය.

“නෑ. ඒ සුළු ප්‍රශ්නත් ඉක්මනින් විසඳගන්න පුළුවන් වේවි” අගමැතිවරයාගේ මතය එය විය.

“ඔබතුමාගෙ අගමැතිකමයි අපේ ආණ්ඩුවයි මහදවල් කොල්ලකාපු රාජපක්ෂලාගෙ මගුල්ගෙදර යෑම ගැන යූඇන්පී කාරයො විරුද්ධයි. අපරාදෙ රනිල් වෙනුවෙන් පත්තු කරපු රතිඤ්ඤා කියලත් සමහරු කියනවා” රංජන් රාමනායක බෝම්බයක් පත්තු කළේය.

“ඔයා තමයි ඒ මගුල් ගෙදරට ගිය එකට විරුද්ධ” යැයි අගමැතිවරයා කීවේ කොක්හඩලමිනි.

“නෑ නෑ මම විතරක් නෙවෙයි යූඇන්පී කාරයො හුඟදෙනෙක් විරුද්ධයි. සමාජ මාධ්‍ය බැලුවොත් ඔබතුමාට වැටහේවි” රංජන් කීවේද සිනාසෙමිනි.

“ඒ මගුල් ගෙදර ගියකෙනාට වඩා මුලින්ම ආරාධනා කරපු අයයි එහෙමනම් වැඩියෙන්ම ලැජ්ජ වෙන්න ඕනෑ. ආරාධනා කරපු නිසානේ යන්න මගුලට යන්න වුණේ” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

“මහින්දයි චන්ද්‍රිකයි දෙන්නම මගේ මගුලට ආවා. තරහ මරහ තිබුණත් මගුල්ගෙවල් මළගෙවල් වලට යාම ලංකාවෙ සිරිතයි. අනික වෙන මගුල්ගෙවල් වලදි මහින්දයි මමයි ගොඩක් වෙලාව අරන් වැදගත් දේවල් කතාකරන අවස්ථාත් තියනවා” අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙනි.

“මහලොකු සිංහල බෞද්ධ හා දේශප්‍රේමි අය ඒ මනමාලි බුද්ධාගමට ගන්නෙ නැතුව කතෝලික පල්ලියේ කසාද බැන්දා. ඒව ජනමාධ්‍ය වල ප්‍රසිද්ධ කළෙත් නෑ. ඒක බැලන්ස් කරන්න ඊටපස්සෙ කෝවිල් ගානෙත් යනවා. මිනිස්සු අන්දන්නයි මේ ඔක්කොම කරන්නෙ. මුස්ලිම් පල්ලියකට තාම ගියේ නැත්තෙ ඒ පල්ලි වලට ඇතුල්වීමට් අවශ්‍ය කොන්දේසි සපුරගන්න බැරි නිසාද දන්නෙ නෑ. ඒ එක්කම කතෝලික පල්ලියෙදි ඩාන්ස් කරන්න ඉඩදීලලු. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙලාලු” හේෂා විතානගේ කීවේ තමාට ලැබුණු තොරතුරු මතය.

“ජනාධිපතිතුමා සිංගප්පූරු ගිහින් අර්ජුන් මහේන්ද්‍රන් ගැනත් අහල කියල ආරංචියි. ලංකාවේ බැදුම්කර කොමිෂන් වාර්තාවත් ඒ අගමැතිට දුන්නා කියල බොරු ප්‍රවෘත්තියක් ලංකාවෙ බෙදාහැරල තිබුණා. එහෙම වාර්තාවක් දුන්නෙ නෑ කියලා අපේ විදේශ ඇමති මාරපනත් තහවුරු කරල තිබුණා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“සිංගප්පූරුව වැඩකරන්නෙ ඒ රටේ නීතිය අනුවයි. කාගෙවත් බලපෑම් වලට එයාලා වැඩකරන්නෙ නෑ. මහේන්ද්‍රන්ට අදාලවත් තත්වය එහෙම බවයි මට ආරංචි.” එජාප නීති අංශ නිලධාරියෙක් කීවේය.

“පලාත්සභා තිබ්බෙ නැත්නම් මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලල අස්වෙනවලු. පලාත් පාලන වගේම පලාත්සභා ඡන්දත් කල්ගියේ ශ්‍රීලනිපයේ කල්මැරිල්ල නිසයි. අනික මහින්ද දේශප්‍රිය හොඳ කතාවක් කිව්වා. ටී.වී. කැමරා ඉස්සරහා ඡන්දෙ ඉල්ලලා මරහඩ දෙන පොහොට්ටු කාරයො ඊට අදාල පාර්ලිමේන්තු විවාදදි පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නෑ. මුළු පාර්ලිමේන්තුවෙම 18දෙනයි ඉදල තියෙන්නෙ. ඝනපූර්ණයත් තිබුණෙ නැහැ කියල දේශප්‍රිය පොහොට්ටුවට හොඳ කනේ පාරක් දුන්නා.” රංජිත් අලුවිහාරේ කීවේය.

“ඇමරිකාවත් එක්ක ලංකාව රහස් ආරක්ෂක ගිවිසුමක් ගහලයි කියල කියන මේ කතාව මොකක්ද?” ගයන්ත කරුණාතිලක ඇසුවේ අගමැතිගෙනි.

“මහින්දල ගෝඨල තමයි ඔය ගිවිසුම ගැහැව්වෙ. ඊට අදාල දේවල් ඉදිරියට් ගෙනියන්නෙ නැතුව අතාරින්න බෑ. ඒ ගොල්ල කොටිවල්ගය මුලින්ම අල්ලලා වලිගය දැන් අතෑරපල්ල කියල අපිට කියල හරියනවද” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“පොහොට්ටුව හැමදාම ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා මොනවහරි බොරුවක් මවලා මිනිස්සුන්ට කියනවා. ආණ්ඩුව ප්‍රෙස් කොන්ෆරන්ස් තියන්නෙත් නෑ. පොහොට්ටු කාරයින්ගෙ බොරුවලට උත්තර දෙන්නෙත් නෑ. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා කරන රටේ සංවර්ධනය ජනතාව අතරට ගෙනියන්නෙත් නෑ. මේක හරි අවුලක්.” නවීන් දිසානායක චෝදනා ස්වරූපයෙන් කීවේ අගමැතිටය.

“නවීන් කියන එකේ ඇත්තක් තියනවා. මංගලත් මේ දවස්වල බජට් එකට හිරවෙලා ඒත් ජනමාධ්‍ය මෙහෙයුම ඉක්මනින් ක්‍රමවත් කරනවා. නැත්නම් මිනිස්සු ටී.වී. චැනල් දෙක තුනකයි පත්තර දෙකතුනකයි යන බොරු අහලම සිහිමූර්ජා වේවි” අගමැතිවරයා කීවේ දැඩි සිනහවක්ද සමගිනි.

“ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18දෙනයි ජනාධිපතියි අතර කඹ ඇදිල්ල උග්‍රයිලු. එහි ජයග්‍රහනය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඉක්මනින් ලැබෙන බව එයාලගෙ විශ්වාසයයි” නවීන් දිසානායක කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *