ජනපති මෛත්රිගේ විශේෂ ප්‍රකාශයට පුරවැසි පිළිතුරක්
ජනාධිපතිතුමනි,
2018 නොවැම්බර් 11 විශේෂ ප්‍රකාශයක් කරමින් ඔබ පැවසුවේ, දින 14ක් ඇතුළත ඔබ ජාතිය අමතන තුන්වැනි අවස්ථාව බවයි. ජනපති වරයකු ජාතිය ඇමතීම යනු සුවිශේෂී අවස්ථාවක සුවිශේෂී කාරණයක් අරබයා ජන මතය දැක්වීමක් ලෙස සාමාන්‍යයෙන් සැලකුවත් ඔබ ජාතිය ඇමතීම වශයෙන් ප්‍රකාශකර දින 14ක් ඇතුළත තුන් වතාවක් කළ අදහස් දැක්වීම අපට නම් පෙනුනේ රටක් හමුවේ තම වැරදි වසා ගැනීමට පවු සමාකර ගැනීමට කළ උත්සාහයක් ලෙසයි.
ඊට බලපෑවේ කරුණු තුනක්; එකක් නම් ලක්ෂ හැට දෙකක් ජනතාව විසින් ජනාධිපති ධුරයෙන් පහකොට මැදමූලන නිවසේ ජනේලයක එල්ලීමට සැලැස්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති පුටුවේ වාඩි කරවීමට ඔබ ගත් ව්‍යවස්ථා කෙසේ වෙතත් සාදාචාර විරෝධී ක්‍රියාවයි. එසේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ තැබීමට ඔබ ගත් පියවර සාධාරණී කරණය කරන්නට ඔබ උත්සාහ කළේ, 2015 ජනවාරි මාසයේ 08 වැනි දින ඔබ ජනාධිපතිවරණයෙන් ජයගෙන, ඒ වනවිට පාර්ලිමේන්තුවේ ආසන 162 ක බහුතරයක් තිබූ දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ආසන 41ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීම පෙන්වා දෙමිනුයි.
ජනාධිපති තුමනි, අද ඔබ කුමන අර්ථකථන ඉදිරිපත් කරන්නට උත්සාහ කළත් ඔබ එදා දි.මු. ජයරත්න මහතා ධුරයෙන් පහ කළේ ජනතාවගේ කැමැත්ත අනුවයි. අප එසේ කියන්නේ, ඔබේ මැතිවරණ ව්‍යපාරයේදි. ඔබ ජනාධිපතිධරයට පත්වු විට අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවත් එසේ පත්කොට දින 100ක ආණ්ඩුවක් සහ දින 100 වැඩසටහනක් ක්රියාවේ යොදවන බව ජනතාවට කී නිසයි. මන්ද මහින්ද රාජපක්ෂ මහතා පරාජයකර ජනතාව ඔබ ජනාධිපති ධුරයට පත් කළේ එකී කටයුත්ත ඉටුකිරීම සඳහායි. දි.මු. ජයරත්න මහතා තවදුරටත් අගමැති තනතුරේ තබා ගනිමින් ආණ්ඩු කරන්නේ යැයි ඔබ 2015 ජනාවාරි 08 ට පෙර කීයේ නම් ඔබටද අත්වන්නට තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අත් වු ඉරණම මිස අන්කිසිවක් නොවෙයි.
වැදගත්ම කාරණය වන්නේ ඔබ 2015 ජනවාරි 08 ජනාධිපති මැතිවරණයෙන් පසුව ගත් පියවර නොව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔබ කළ ප්රකාශයි. ඔබට අමතක වුවද අපට පැහැදිලිව මතක ඇති ආකාරයට එම මැතිවරණය ආසන්නයේ ඔබ ප්‍රකාශ කළේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළා වුවද මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය ලබා නොදෙන බවයි. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ ද අඩු බලයක් සහිතව සිටි මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය පිරිනැමීම යනු කවර ආකාරයකින්වත් ව්‍යවස්ථාවට හෝ සදාචාරයට අනුකූල ක්‍රියාවක් නොව කන්නට අවශ්‍ය වු විට කබරගොයාත් තලගොයා කරගැනීමක් පමණයි.
ඊළඟ කාරණය එදා පාර්ලිමේන්තු බහුතරට සහිතව දි.මු. ජයරත්න මහතා ඉවත් කර ආසන 41ක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීම වරදක් නම්, මෙදා පාර්ලිමේන්තුවේ බහුතරය සහිත රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර බහුතරය නොමැති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම නිවැරදි වන්නේ නැහැ. එක වරදම දෙවරක් කිරීම හේතුවෙන් ගණිතයේ දී ඍණත් ඍණත් ධන වන්නා සේ වරදට වරද කැපී නොයන නිසයි.
ඔබ උපුටා දක්වන ඊළඟ කාරණය, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා මන්ත්‍රිවරයෙකුගේ වටිනාකම රුපියල් මිලියන 100,150,500 දක්වා ඉහළ නැගුණු නිසා නොවැම්බර් 14 දක්වා මුලින් කල් තැබුණු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට සිදු වු බවයි.
ජනාධිපතිතුමනි, ලජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියා කීවේ රෝහණ විජේවීර මහතාය. ඔබගේ ප්රකාශනයෙන් ඔප්පු කරන්නේ රෝහණ විජේවීර මහතාගේ එම ප්‍රකාශයේ සත්‍යතාව බව අපගේ වැටහීමයි. පාර්ලිමේතුවේ බහතරයක් නැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරන්නට ඔබ සිකුරාදා හැන්දෑවක් තෝරාගත්තේ, ඔහුට පාර්ලිමේන්තු බහුතරය නැති බව දන්නා නිසාය. රජයේ නිවාඩු දින දෙකක් වන සෙනසුරාදා ඉරිදා ඒ අඩුව පිරිමසා ගන්නට ගේමක් ගැසීමේ අරමුණෙන් යුතුවය. පාර්ලිමේන්තුව කල්තැබුවේ ද මහින්දට බහුතරය හදාගන්නට හෝ හදා දෙන්නට පහසුවනු පිණිසය. එනම් මුදල් හා තනතුරු අල්ලස් දී විපක්ෂයේ මන්ත්‍රිවරු බිලි බා ගන්නට අවස්ථාව ලබා ගනු පිනිසය. මන්ත්‍රිවරයාගේ අගය මිලියන 100,150,500 වෙතැයි ඔබ නොසිතුවා විය හැකිය. බහුතරය අප්සෙට් ගියේ මිල වැඩි කම නිසාද? මහින්ද රාජපක්ෂගේ කළු සල්ලි සංචිතය එවැනි ලොකු මිලක් ගෙවා මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව සම්පූර්ණ කරගන්නට ප්‍රමාණවත් නොවු නිසාද? ඔබේ කතාවේදී එය රටට පැහැදිලි කළ යුතුව තිබුණි. අපට වැටහෙන කාරණය වනනේ කුමන හේතුව නිසා හෝ ඔබෙත් මහින්ද රාජපක්ෂ මහතාගේත් ගේම අප්සට් ගිය බවයි. පාර්ලිමේන්තුව විසුරුවන්නටත්, මැතිවරණ කොමිසමෙන් පවා නොවිමසා මැතිවරණයකට දින නියම කරන්නටත් තරමට අසරණ තත්ත්වයකට ඔබට පත්වන්නට සිදු වුයේ එහෙයිනි.
අගමැතිවරයෙක් පත්කර පාර්ලිමේන්තුවට යන පළමු දිනයේම ඔහු කෙරෙහි විශ්වාස තිබේද යන්නට බහුතරය විමසීමේ ඡන්ද විමසීමක් කිසිම දවසක අපේ පාර්ලිමේන්තු සම්ප්රදායේ සිදු වී නැති බව ඔබ කීවා. ජනාධිපති තුමනි, එයට හේතුව ඔබ කළා සේ පාර්ලිමේන්තු බහුතරය නැති බව හොඳින්ම දන්නා මන්ත්‍රිවරයකු අගමැති ධුරයට පත්කිරීමක් මෙරට පාර්ලිමේන්තුවේ කවරදාකවත් සිදු වී නොතිබීමයි. ඔබේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව පිළිගෙන පාර්ලිමේන්තුව නිහඬ වනු ඇතැයි ඔබ සිතුවා. නමුත් පාර්ලිමේන්තුව ඔබේ ක්‍රියාව අභියෝගයකට ලක්කරන්නට තීරණය කළ විට ඔබ තක්කු මුක්කු වුණා. පාර්ලිමේන්තුව විසුරුවන්නට සිදු වූයේ පාර්ලිමේන්තුව මුහුණ දෙන්නට නියමිතව තිබු පරාජය නවතා ගන්නටයි. නමුත් එම ක්‍රියාමාර්ගය ද උසාවිය හමුවේ මේ වන විට අභියෝගයකට ලක් වී ඇති වා පමණක් නොවෙයි. ඔබ ගත් ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුව තුළත් මේ ලියන නොවැම්බර් 14 වන විට පරාජය වී අවසන්.
නොවැම්බර් 14 පාර්ලිමේන්තුව රැස් වූ විට මිනී මැරෙන්නට විශාල ගැටුමක් ඇති වන්නට තිබුණු බවත් ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවැ හැරි බවත් ඔබ නොවැම්බර් 11 කීවත් එම ප්‍රකාශය මුසාවක් බව මේ වන විට ඔප්පුවී අවසන්. ඒ අද 14 පාර්ලිමේන්තුව රැස් වු නමුත් ඔබගේ අගමැතිවරයාගේ කණ්ඩායමේ නොමනා හැසිරීම හැර වෙනත් බරපතළ කිසිවක් පාර්ලිමේනුවේ දී සිදු නොවුණු නිසයි.
ජනාධිපති තුමනි, 2015 මහ බැංකු මංකොල්ලය ගැනත් ඉන් පසුව සිදු වු විවිධ දූෂණ හා අක්‍රමිකතා ගැනත් ඔබේ විශේෂ ප්‍රකාශයෙදී සඳහන් කර තිබුණා. අප පුදුම වන්නේ ඒ ගැන නොවෙයි. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සොයාබලන්නට පත්කළ කොමිසමට සමගාමීව ඔබ විසින්ම පත්කරනු ලැබු පසුගිය එනම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බරපතළ වංචා දූෂණ සොයාබැලීම සඳහා ඔබ විසින් පත්කරන්නට යෙදුණු සහ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ක්‍රියාත්මක වුණු විශේෂ ජනාධිපති කොමිසම පිළිබද ඔබ හිතාමතාම අමතක කිරීම ගැනයි. එම වාර්තාවේ දූෂණ 34ක් ගැන සඳහන්ව තිබුණා නේද? හරි නම් විය යුතුව තිබුණේ එම වාර්තාවේ සඳහන් දූෂණ 34 සහ බැඳුම්කර වංචාව ද ඇතුළුව දූෂණ 35ක් සම්බන්ධ වූ නඩු පැවරීමයි. නමුත් නඩු පැවරුණේ බැඳුම්කර වංචාව සම්බන්ධව පමණයි. අනෙක් 34 ගැන පරීක්ෂා කරනු වෙනුවට ඔබ කළේ එකී වංචා 34ට නම ගෑවුණු අය කැඳවා ඇමතිධුර පිරිනැමීමයි.
විශේෂ ප්‍රකාශයේ දී ඔබ පුන පුනා කීවේ රටත් රටේ අනාගතයත් ගැන සිතා ඔබ කටයුතු කළ බව වුවත් ඔබ කර ඇත්තේ ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංගනය කරමින් ඔබේත් මහින්ද රාජපක්ෂ පවුලේත් අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමයි. එකී වැරදි ක්රියාවේ ප්‍රතිඵල දැන් ඔබකරා පැමිණෙමින් ඇති බව ඉතාම පැහැදිලියි. ඔබ ඔබේ කතාව අවසන් කළේ ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ ‘නහී වේරේ වේරානි – සම්න්තීද කුදාචනං – අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ’ කියා වුවත්, ඔබේ විශේෂ ප්‍රකාශය අවසන් කළ යුතුව තිබුණේ ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන ගාථාවෙනි. මන්ද ගොනු අනුව එන ගැල් සක මෙන් ඔබ කළ දේ හී ඵලය මේ වන විට ඔබ පසුපස එමින් පවතින හෙයිනි. ශ්‍රී ලං. නි. ප. ය රැකගන්නට කියමින් ඔබ කළ සියලු දෙයෙහි ප්‍රතිඵල දැන් නරත වී ඇත්තේ පොහොට්ටවට වාසි දායක ලෙසය. අපට ඇති ගැටලුව එය නොවේ, ඔබේ පටු කල්පනා කාරී ක්‍රියා හේතුවෙන් රටත් ජනතාවත් අද මුහුණ දී ඇති විනාශකාරී තත්ත්වය ගැනයි.
මෙයට,
