අගරදගුරු මංගල සහ මහින්ද – අනුර සූරියබණ්ඩාර
කොළඹ අදගරු මැල්කම් කාදිනල් රංජිත් විසින් කරන ලද මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් තබන ලද ටිවිටර් සටහනක් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය විසින් නන් ආකාරයෙන් රහමරන අකාරයක් දක්නට ලැබේ.
මැල්කම් රංජිත් අගරදගුරුතුමා කියන්නට යෙදුණේ බෞද්ධ ආගමෙන් පෝෂණය ලැබූ සංස්කෘතියක් සහිත ශ්‍රී ලංකාවට මානව හිමිකම් උගැන්වීමට බටහිර රටවල් අවශ්‍ය නැතිය යන ආකාරයේ අදහසකි. උන්වහන්සේගේ මතය එය නම් උතුම් බෞද්ධ සංස්කාතියකින් පෝෂණය ලබන මෙරටට බටහිර රටවලින් ආ වෙනත් ආගමක් අවශ්‍ය නොවන බව කීවද එය පිළිගන්නට සිදු වේ. ඒ ආකාරයෙන් ගත්කල මානව හිමිකම් යටතේ පුරවැසියන්ට ලැබෙන ආගම ඇදහීමේ අයිතියට සිදුවන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුවේ.
ආගම් වශයෙන් ගත්කල කවර ආගමක් හෝ මානව හිමිකම් නොව කවර අයිතිවාසිකමක් හෝ කඩ නොකරන බව සත්‍යයකි. එනම් කවර හෝ ආගමික ශාස්තෘවරයකු අනෙකාගේ නිදහසට බාධා කරන ධර්මයක් දේශනාකර නොමැති බවයි. එහෙත් මේ වන විට ලොව පවතින ගැටුම් අතරින් අතිබහුතරය ආගම් පදනම් කරගත් ඒවා වේ. එහි අදහස මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට හෝ ලෝක සාමය තහවුරු කරන්නට ආගමික දර්ශනවලට නොහැකි වී ඇති බවයි.
ආගම යනු ලොව කොතැනක දී වුව වර්තමානයේ හුදු මිනිසාගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් පෙනී සිටින සංස්ථාවක් නොවේ. එසේම එය තවදුරටත් එහි ලෝකෝත්තර බව ආරක්ෂාකරගෙන නොසිටින බව ද අකමැත්තෙන් වුව පිළිගන්නට සිදුවේ. ආගම යනු අද දේශපාලනය සමඟ ඍජුව සේම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ළෙන්ගතුව ගැටගැසී ඇත යන්න අප පිළිගත්තා වුව නැති වුව යථාර්ථයයි.
මේ මොහොතේ කිසිම රාජ්‍යයක් ක්‍රිස්තුන් වහන්සේට කුරුසියේ ඇණ ගසන්නේ නැත. ඒ අනුව පාලකයින් තෝරාගෙන ඇත්තේ කුරුසියෙන් බැස උට්ඨාන වූ කිතුමන්ගේ වත්මන් නියෝජිතයන් තම බල රටාවට අනුගත කොට හික්මවා ගැනීමයි.
එක්තරා මුස්ලිම් රටකින් සරණාගත පහසුකම් සොයා ඇමරිකාවට ගිය කතක් කෘතියක් රචනා කළාය. එහි නම වන්නේ ‘Do they Hear You, when You Cry’ එනම් ‘ඔබ හඬන හඬ ඔවුන්ට ඇසේද?’ යන්නයි. කතාවට පදනම් වන්නේ මුස්ලිම් එනම් ඉස්ලාම් ලබ්ධික කතක් වන ඇගේ ආගම ඇදහීමේ නිදහසට ඇමරිකාවේ දී බාධා කෙරෙන ආකාරයයි. නැතහොත් ඉස්ලාම් ලබ්ධිකයකු වන ඇගේ ආගම ඇදහීමේ නිදහස කතෝලිකයන් හමුවේ බිඳවැටෙන ආකාරයයි. ආගම ඇදහීම යනු මානව හිමිකමකි. ඇමරිකාව යනු අප හිතන ආකාරයට මානව හිමිකම් උපරියෙන් ක්‍රියාත්මක රටකි. එසේ නම් ඒ කතගේ ආගම අදහීමේ අයිතිය අහිමිවීම ආගමික කරුණක් බවට පත්වේ. ඇගේ ගැටලුවට ආගම තුළ පිළිතුරු ඇත්තේ නැත. එක් ආගමිකයන් පිරිසක් විසින් තමන්ගේ නොවන ආගමක් අදහන තැනැත්තියක ගේ ආගම ඇදහීමේ අයිතිය හෙවත් ඒ හා සම්බන්ධ මානව හිමිකම් එහි දී කඩවේ. ආගමට විසඳුම් නැති එම ගැටළුවට විසඳුම ඇත්තේ මානව හිමිකම් ප්රඥප්තියේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල්හි, බෞද්ධයන් පමණක් නොව කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා පවා උදම් අනන මෙරට බෞද්ධ සංස්කෘතියට අනෙකුන්ගේ නොව බෞද්ධයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නටවත් හැකි වූයේද යන්න ගැටළුවකි.
1971 – 1988, 89 තරුණ කැරලි සමයේ ආණ්ඩුව පාර්ශවයෙන් මෙන්ම කැරලිකරුවන්ගේ පාර්ශවයෙන් ද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කොතෙකුත් සිදුවිය. ඒ වකවානු දෙකේහිම තිබුණේ සිංහල බෞද්ධ රාජ්‍ය නායකයන්ගෙන් යුතු ආණ්ඩුය. එහෙත් බෞද්ධකමෙන් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වූයේ නැත. අමාත්‍ය මංගල සමරවීර මහතා ගේ ටිවිටර් සටහන දැක නන්දොඩවන හිටපු මහින්ද රාජපක්ෂ කලෙක මෙරට මානව හිමිකම් කඩවිම් ගැන පැමිණිලි කරන්නට ගියේ ද මල්වත්තට අස්ගිරියට හෝ වතිකානුවට නොවේ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමාගේත් නොසතුටට අද ලක්ව ඇති මානව හිමිකම් කවුන්සිලයටය. එනම් බටහිර ජාතීන් විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති ආයතනයකටය.
මහින්දගේ පාලන කාලයේ මිනිසුන් ඝාතනය කෙරෙන විටත්, බලහත්කාරයෙන් අතුරුදන් කරවන විටත්, අතපය කඩා දමන විටත් පෙරකී බෞද්ධ උරුමයෙන් පොදු ජනතාවට පිහිටක් තිබුණේ නැත. ඓතිහාසික බෞද්ධ උරුමයේ මුදුන් මල් කඩක් ඒවාට තීරණාතමක ලෙස විරෝධයක් පෑවේ ද නැත. හේතුව අවශ්‍යතාවක් තිබුණද හැකියාව එම සංස්ථාවලට නොතිබුණු නිසාය. කුරුස යුද්ධයක් මතක් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා අගරදගුරු තුමාටත් රටටත් පැහැදිලි කරන්නට උත්සාහ කරන් ඇත්තේ එකී සත්‍යයයි.
කළු ජූලිය පිළිබඳ මතකය අගරදගුරු තුමාට අමතකවන්නට හේතුවක් නැත. එහි දී දෙමළ ජාතිකයන්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරන්නට පෙරමුණ ගත්තෝ අගරදගුරුතුමා පවසන බෞද්ධ උරුමයෙන් පෝෂණය ලැබූ ජනතාව අතරින් කොටසකි. බෞද්ධ උරුමය ආරක්ෂා කරන්නට දිවිහිමියෙන් කැපවී සිටින භික්ෂූන් අතරින් කොටසක් ද කළු ජූලියේ තිරය පිටුපස නොව නර්තනයේ ඉදිරියෙන්ම සිටියෝය. අලුත්ගම දිගන ගැටුම් සම්බන්ධයෙන් ගත්කල ද තත්ත්වය එයමය. බොදුබල සේනාව මානව හිමිකම්වලට ගරුකරන ප්‍රමාණය වටහා ගන්නට එහි නායක ස්වාමින් වහන්සේ අද වැඩ සිටින ස්ථානය සහ ඊට මූලික වූ හේතුව කල්පනා කිරීම වුව ද පුමාණවත්ය. එහි අදහස තවදුරටත් ආගමට මානව හිමිකම් රැකීම කෙසේවෙතත් ආගමික පූජකයන් පාලනය කරන්නටවත් හැකියාවක් නොමැති බවයි.
පෙන්සැල්වේනියාවේ කතෝලික අගමික සංස්ථාව පිළිබඳ මෑතක දී පිටවූ වාර්තාවක් කතෝලික ආගමට ද ඒ නොහැකියාව පොදු බව හෙළිදරව් කර තිබුණි. එම වාර්තාව අනුව හෙළිදරව් වූයේ පූජකයන් 300කට වැඩි පිරිසක් විසින් දරුවන් 1000කට අධික පිරිසක් අපචාරයනයට ලක්කර ඇති බවයි.
සත්‍ය සංඛ්‍යාව ඊට වැඩිවිය හැකි බවත්, ඊට හේතුව වාර්තා නැති වීම සහ ඇතැම් වින්දිතයන් කරුණු හෙළිදරව් කරන්නට ඉදිරිපත් නොවීම බව ද වාර්තා අනුව හෙළිවේ. පූජකයන් අතින් කුඩා පිරිමි ළමයින් ද කුඩා දැරියන ද දූෂණය වන අතර දෙවියන්ගේ මිනිසුන් ඒ වෙනුවෙන් කිසිවක් නොකර නිහඬව සිටි බව වාර්තාවේ දැක්වේ. බිෂෝප්වරු, ආර්ච්බිෂෝප්වරු, කාදිනල්වරු එහි දී කටයුතු කර ඇත්තේ වරදකරුවන් ආරක්ෂා කරන්නටත් වාර්තා අස්ථානගත කරන්නට බව ද සී.එන්.එන්. ප්රවෘත්ති නාලිකාව කියා තිබුණි. එකී අතරවලට ලක් වූ තැනැත්තන්ගේ වේදනාවන් ද එකී සී.එන්.එන්. වාර්තාවට අඩංඟුවිය. එක් මහළු පුරුෂයකු කියා තිබුණේ මුල්වටර තම පුරිස්කය ප්‍රබෝධවත් කළේ පූජක හස්තයක් විසින් බව මතක්වන විට සිය බිරිය සමග සයනයේ සුව විඳින්නට පවා නොහැකි වූ බවයි. අන්තර් ජාලය හරහා අගරදගුරුතුමාට එකී ප්රවෘත්ති වාර්තාව කියවා ගැනීමට හැකි වනු ඇත. එතුමා එය කියවීමට වටින්නේ මානව හිමිකම් වෙනුවෙන් ආගමට කළ හැකි නොහැකි කුමක්ද යන්න නිවැරදිව වටහා ගන්නටය.
මංගල සමරවීර අමාත්‍යවරයා අගරදගුරු තුමන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තැබූ ටිවිටර් සටහනේ දැන් වැඩියෙන්ම එල්ලෙමින් යන්නේ මහින්ද වාදීන්ය. හේතුව හිතාගන්නට පුළුවන. මන්ද ඔවුන්ට ඒකාලයේ සිය මිනීකන්නන්ගේ දේශය පවත්වාගෙන යාමට බාධා කළේ බටහිර මානව හිමිකම් විසින් බැවිනි. අගරදගුරු තුමා කියන බෞද්ධ උරුමයටවත් එතුමා නියෝජනය වන කතෝලික උරුමයටවත් එම මර්ධනකාරි රාජ්‍යය පාලනය කළ හැකි වූයේ නැත.
දැන් එළඹ ඇත්තේ මහින්දවාදින් නැවත තමන්ගේ පාලන කාලයක් ගැන හීන දකින යුගයකි. එවැනි යුගයක් නැවත එන්නේ නම් බටහිර මානව හිමිකම් වෙනුවට බෞද්ධ උරුමය පමණක් මෙරට පවතින්නේ නම් මහින්ද බෙහෙවින් සතුටු වනු ඇත.
අනුර සූරියබණ්ඩාර
